දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල රාජකාරි කටයුතුවලින් පසුගිය(07) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වී තැපැල් සේවකයන් මේ වන විට වැඩ වර්ජනයක නිරත වී ඇත.
ඒ, පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කර ඇති පෞරාණික ගොඩනැගිලි දෙකක් වන නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල සංචාරක හෝටල් සඳහා විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිවයි.
පැය 48ක් පුරා ක්‍රියාත්මක මෙම වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයිනේ තැපැල් කාර්යාලවල අද සේවා ක්‍රියාත්මක නොවීය.
වර්ජනයේ නිරත ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසන්නේ, තැපැල් කාර්යාල 653ක් උපතැපැල් කාර්යාල 3,410ක් සහ අනෙකුත් පාලන කාර්යාලවල සේවයේ නියුතු තැපැල් සේවකයින් 27,000ක් වර්ජනයට එක් ව සිටින බවයි.
තැපැල් කාර්යාලවලට පැමිණි ජනතාව මෙන්ම මාසික දීමනා ලබාගැනීම සඳහා පැමිණි පිරිස් ද වර්ජනය හේතුවෙන් දැඩි අසීරුතාවට පත් වූ බව වාර්තා විය.
මේ අතර, ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති නියෝජිතයන් මල්වතු මහ නා හිමි බැහැ දැක සිය ගැටලු සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුම්වත් කර තිබේ.
අනතුරුව වෘත්තිය සමිති පැමිණ ඇත්තේ, අස්ගිරි මහ විහාරයටයි.
මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට ලබන 10 වැනිදා දක්වා තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේම නිවාඩු අවලංගු කර ඇති බව තැපැල්පති එම්.ආර්.පී සත්කුමාර් මහතා පවසයි.
තැපැල්පතිවරයා පවසන්නේ, 2024 දී තැපැල් දෙපාර්තමේන්තුව ලාබ ලබන තත්ත්වයට පත්කිරීමේ උත්සාහයට මෙම වර්ජනයෙන් අහිතකර බලපෑම් ඇති වන බවයි.
සේවක වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා සමග සාකච්ඡා කළ බව ද තැපැල්පතිවරයා අවධාරණය කර ඇත.
තැපැල්පති එම්.ආර්.පී සත්කුමාර් මහතා සඳහන් කරන්නේ, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තිය අනුව වඩාත් ඵලදායි ආයෝජන අවස්ථාවකට ඉඩදීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදීමට එකඟත්වය ජනපති ලේකම් වෙත දන්වා ඇති බවයි.
නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනුවට එය පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහතික කර ඇති බව ද තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
මේ අතර, තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පස්වරුවේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබිණි.