තරුණයාගේ මරණය වෙනුවෙන් දුම්රියෙන් රුපියල් ලක්ෂ පහක්

දුම්රිය සේවකයින් කිහිප දෙනෙකු දියත් කළ වැඩවර්ජනයක් අතරතුරදී අඟහරුවාදා ජනාකීර්ණ දුම්රියක වහලය මත ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකින් මිය ගිය 19 හැවිරිදි දිනුත් ඉඳුවර පෙරේරාගේ ළඟම ඥාතීන්ට දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දී ඇත.

මෙවැනි අනතුරුවලට අදාළ වන්දි ගෙවීමට නීතිමය පදනමක් නොමැති වුවද ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම්වරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව මෙම මුදල මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයින් වෙත ලබාදී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය

ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි මොරටුව කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පෙරේරා මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණා.දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ නිලධාරීන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් පසුගිය ඉරිදා සහ සඳුදා දිවයින පුරා දුම්රිය ස්ථාන මගීන්ගෙන් පිරී පැවතිණි. .

මියගිය පුද්ගලයා සැප්තැම්බර් 12 වැනිදා මොරටුව කාර්මික විද්‍යාලයට යාමට තම පියා සමඟ ගම්පහ දුම්රිය ස්ථානයට ගොස් ඇත.

උදෑසන කාර්යාල වේලාව වූ බැවින් ඒ වන විට ගම්පහ දුම්රිය ස්ථානයේ මගීන් විශාල පිරිසක් සිටි අතර මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු අති විශාල මගීන් පිරිසක් දුම්රියට ගොඩ වූහ.

මේ අතර මියගිය තරුණයා ඇතුළු කිහිප දෙනෙකු දුම්රියේ වහලයට ගොඩ වූ අතර ඔහුගේ හිස රාගම දුම්රිය ස්ථානයෙන් පසු ඊළඟ ස්ථානය වන හොරපේ දුම්රිය ස්ථානයේ දුම්රිය පාලමේ වැදී ඇත. තරුණයා දුම්රියේ වහලෙන් වැටී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *