LK reports news sinhala

ටෙලි නළුවා රේගු වංචාවක

චීනයේ සිට මෙරටට ගෙන්වූ ප්ලාස්ටික් මල් තොගයක් රේගු බදු නොගෙවා වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ටෙලි නාට්‍ය නළුවකු වන අජිත් වීරසිංහ නමැත්තා සම්බන්ධවී සිටින බවට මාධ්‍ය වාර්තා කරයි.

බිත්ති කාපට් ගෙන එන මුවාවෙන් ගෙනැවිත් තිබූ ප්ලාස්ටික් මල් අජිත් වීරසිංහගේ නිෂ්පාදන ආයතනය වන අජිත් ෆිල්ම්ස් ආයතනයට ටෙලි නාට්‍ය හා චිත්‍රපට වෙනුවෙන් භාවිත කරන බව ඔහු රේගුවට පවසා තිබේ. එහෙත් දිගින් දිගටම මේ ආකාරයට බිත්ති කාපට් ගෙන ඒම ගැන සැක සිතූ රේගු නිලධාරීන් අදාළ නළුවාගෙන් මේ ගැන විමසා ඒවා ගෙන එන බහාලුමක් විවෘත කර බැලීමේදී අදාළ බහාලුමේ තිබී ඇත්තේ බිත්ති කාපට් නොව ප්ලාස්ටික් මල්ය. මේ ගැන නළුවාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ තමන් චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන බැවින් අදාළ මල් අවශ්‍යවූ බවයි.

මෙම බහාලුම 2018 ඔක්තෝබර් මාසයේදී එළියට ගෙන යෑමට උත්සාහ කිරීමේදී රේගු නිවාරණ අංශය මඟින් නවතා ඇත. එම බහාලුම වරායෙන් පිටමං කිරීමට නොදී එම අවස්ථාවේ රේගු නිවාරණ අංශයේ අත්අඩංගුවට පත්විය. කෙසේ හෝ බහාලුම පිටතට ගෙන යෑමට නොදී රේගු නිවාරණ අංශය විමර්ශන අරඹා  මුලින්ම අනාවරණය කරගෙන තිබුණේ වෝල් කාපට් ලෙස නම්කර ප්ලාස්ටික් මල්
ගෙනැවිත් තිබෙන්නේ සෙස් බදු හා අනෙකුත් බදුවලින් බේරීම සඳහා බවය.

ලංකාවට ගෙන එන ප්ලාස්ටික් මල් කිලෝවක් සඳහා රුපියල් දහසක සෙස් බද්දක් රේගුව විසින් අයකරනු ලබන අතර අජිත් ෆිල්ම්ස ආයතනය ප්ලාස්ටික් මල් ගෙනැවිත් ඇත්තේ වෝල් කාපට් ලෙස නම් කරමිනි. ඒ අනුව අඩු බද්දක් ගෙවා බඩු රේගුවෙන් පිට කිරීමට උත්සාහ කර ඇත.

මෙම මල් එකින් එක ගැලවිය හැකි පරිදි ගෙනවිත් ඇත්තේ සිනමා නිෂ්පාදන සඳහා යෙදවීමට නොව ව්‍යාපාරයකට බව පැහැදිලි යැයි රේගුව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව දිගින් දිගටම කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අජිත් වීරසිංහ මීට පෙරද තම සමාගම හරහා ගෙන ආ බහාලුම් සඳහාද නිසි තීරු බදු නොගෙවා වංචා කර ඇති බවයි.

මේ සඳහා රේගුවේ විශ්‍රාම ගිය නිලධාරියකු හා ඇතුළේ සිටින නිලධාරීන් පිරිසක් උදව් කර ඇති බවද වාර්තා වේ. අජිත් වීරසිංහ කලක් ජනප්‍රිය වූයේ මෙරට ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක රියැලිටි වැඩසටහනක තරුවක් වීම හේතුවෙනි.

(උපුටා ගැනීම – gossiplankanews.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *