ඕස්ට්රේලියාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන්, ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ (ICC) නවතම පිරිමි ටෙස්ට් පන්දු යවන්නන්ගේ මෙන්ම තුන් ඉරියව් ක්රීඩකයන්ගේ ශ්රේණිගත කිරීම්හි අංක 1 ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්රිකානු තුන් ඉරියව් ක්රීඩක මාර්කෝ ජැන්සන් (Marco Jansen) සමත්ව තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලි තරගාවලිය යටතේ පැවති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 31ක දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්රිකාව සමත් වූ අතර, එහිදී ලකුණු 85ක ඉනිමක් ක්රීඩා කළ ජැන්සන්, පන්දු යැවීමේදී ලකුණු 33කට කඩුලු 5ක් සහ ලකුණු 34කට එක් කඩුල්ලක් දවාලීමට සමත් විය. මෙම දක්ෂතාවත් සමඟ ඔහු පිතිකරුවන්ගේ ලැයිස්තුවේද ස්ථාන 13ක් ඉදිරියට පැමිණ 56 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
2024 නොවැම්බරයේ කගීසෝ රබාඩාගෙන් පසුව ටෙස්ට් පන්දු යවන්නන් අතර අංක 1 ස්ථානයට පත්වූ පළමු දකුණු අප්රිකානු පන්දු යවන්නා මෙන්ම, 2014 අගෝස්තු මස වර්නන් ෆිලැන්ඩර්ගෙන් පසුව අංක 1 ටෙස්ට් තුන් ඉරියව් ක්රීඩකයා බවට පත්වූ පළමු දකුණු අප්රිකානු ක්රීඩකයා වන්නේද ජැන්සන්ය.
බවුමා දෙවැනි තැනට; බෝලන්ඩ් සහ මුල්ඩර් ඉදිරියට
එම තරගයේදී ලකුණු 179ක ජයග්රාහී ඉනිමක් ක්රීඩා කළ දකුණු අප්රිකානු නායක ටෙම්බා බවුමා ස්ථාන 4ක් ඉදිරියට පැමිණ තම ක්රීඩා දිවියේ ඉහළම ටෙස්ට් ශ්රේණිගත කිරීම වන 2 වැනි ස්ථානය කරා ළඟාවී තිබේ. ඔහුට ඉදිරියෙන් සිටින්නේ එංගලන්තයේ හැරී බෲක් පමණක් වන අතර, 2015න් පසු ටෙස්ට් පිතිකරුවන් අතර අංක එකට පත්වන පළමු දකුණු අප්රිකානුවා වීමේ අවස්ථාවද ඔහුට හිමිව ඇත.
ඕස්ට්රේලියානු වේගපන්දු යවන ස්කොට් බෝලන්ඩ් ස්ථාන 3ක් ඉදිරියට පැමිණ 6 වැනි ස්ථානයටත්, කඩුලු 5ක් දවාගත් දකුණු අප්රිකාවේ වියෑන් මුල්ඩර් ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 43 වැනි ස්ථානයටත් පත්ව සිටිති.
පන්දු 35කින් ශතකයක් ගැසූ අභිෂේක් විස්සයි20 අංක එකට
නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී පැවති තරගයේදී පන්දු 35කින් අකුණු සැර ශතකයක් රැස් කළ ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා, ICC විස්සයි20 පිතිකරුවන්ගේ ශ්රේණිගත කිරීම්හි යළිත් අංක 1 ස්ථානයට පත්ව ඇත. ඒ සමඟ මාස හතරක් පුරා එම ස්ථානයේ රැඳී සිටි ඉෂාන් කිෂාන් 3 වැනි ස්ථානය දක්වා පහත වැටුණි.
මීට අමතරව සංජු සැම්සන් (20 වැනි ස්ථානය), ෆින් ඇලන් (25 වැනි ස්ථානය) සහ ග්ලෙන් පිලිප්ස් (37 වැනි ස්ථානය) පිතිකරුවන් අතර ඉදිරියට පැමිණ ඇති අතර, පන්දු යවන්නන් අතර මිචෙල් සැන්ට්නර් 7 වැනි ස්ථානයටත්, අර්ෂ්දීප් සිං 15 වැනි ස්ථානයටත් පැමිණ තිබේ.
එක්දින පිටියේ ජනිත් සහ දුනිත් දැක්වූ දස්කම්
ශ්රී ලංකාවද තරග වැදුණු පාකිස්තාන තුන්කොන් එක්දින තරගාවලියේදී දැක්වූ දස්කම් මත එංගලන්තයේ බෙන් ඩකට් (7 වැනි ස්ථානය) සහ හැරී බෲක් (8 වැනි ස්ථානය) ස්ථාන 6 බැගින් ඉදිරියට පැමිණියහ.
එම තරගාවලියේදී දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ශ්රී ලංකාවේ ජනිත් ලියනගේ ස්ථාන 10ක් ඉදිරියට පැමිණ එක්දින පිතිකරුවන් අතර 14 වැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව ඇත. එමෙන්ම පන්දු යවන්නන්ගේ ශ්රේණිගත කිරීම්හි ශ්රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ ස්ථාන 8කින් ඉදිරියට පැමිණ 19 වැනි ස්ථානය දිනාගෙන තිබේ.
පාකිස්තානයේ ශදාබ් ඛාන් 92 වැනි ස්ථානයටත්, ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි පන්දු යවන්නන් අතර 7 වැනි ස්ථානයටත් පැමිණ ඇති අතර, තුන් ඉරියව් ශ්රේණිගත කිරීම්හි මොහොමඩ් නබි 3 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.



