ජයවර්ධනපුර රෝහල සාර්ථකව අක්මා බද්ධයක් සිදු කරයි

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ පළමු වරට අක්මා බද්ධ කිරීමේ සැත්කමක් පසුගිය දා සිදුකළ බව රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවසයි.

එම සැත්කම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරුන් හා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු රැසකගේ දායකත්වයෙන් සිදුකර තිබේ.

37 හැවිරිදි සිරෝසීස් රෝගයෙන් පෙළුණු පුද්ගලයෙකුට එම අක්මා බද්ධය ඉතා ඉක්මනින් සිදුකළ යුතුව තිබු බව ද වෛද්‍යවරු පවසති.

පසුව ඉකුත් 30 වන දා සැත්කම ඉතා සාර්ථකව සිදුකළ බවත් වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේය.

ඒ සඳහා මොළය මියගිය 62 හැවිරිදි පුද්ගලයකුගේ අක්මාව රාගම රෝහලේ දී ලබාගත් ගෙන තිබේ.

පැය ‍12කට ආසන්න වේලාවක් සැත්කම සඳහා ගතවී ඇත.

අක්මා බද්ධය අධික වියදම් සහිත සැත්කමක් වන නමුත් ජයවර්ධනපුර රෝහලේ දී සිදුකළ පළමු සැත්කම සඳහා කිසිදු අයකිරීමක් නොකිරීම ද විශේෂත්වයකි.

අක්මා බද්ධය සිදුකිරීම සඳහා වසර 3ක පමණ කාලයක් පුරා පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර, වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මත එය සාර්ථක කර ගැනීමට හැකිවු බව විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන මහතා පවසයි.

සැත්කම සඳහා එක්වු වෛද්‍යවරුන් පහතින් දැක්වේ.

  • වෛද්‍ය රත්නසිරි හේවගේ – අධ්‍යක්ෂ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රුවන් දිසානායක – ජාතික රෝහල
  • වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ඔලිවර් පාතමන්පෙරුම – අවයව බද්ධ කිරීමේ ඒකකය – ජාතික රෝහල
  • අක්මාව, පිත්නාල හා අග්න්‍යාංශය සම්බන්ධ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ප්‍රභාත් කුමාරසිංහ – ජාතික රෝහල   
  • අක්මාව හා ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත දිසානායක
  • විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සඳුන් බුලත්සිංහල – ජාතික රෝහල
  • නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවනී රාජසිංහ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • විකිරණ ශිල්පය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය බුද්ධි අබේවික්‍රම – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් පතිරගේ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අයේෂා අබේවර්ධන – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *