ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජපානයේ IM Japan ආයතනය නව රැකියා කුසලතා සංවර්ධන වැඩසටහනක් (Employment Skill Development Programme – ESD) ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
අදාළ ගිවිසුමට බදාදා (07) SLBFE පරිශ්‍රයේදී අත්සන් තබා ඇත්තේ එම කාර්යාංශයේ සභාපති කොසල වික්‍රමසිංහ මහතා සහ IM Japan ආයතනයේ සභාපති කනමෝරි හිටෝෂි මහතා විසිනි.
මෙම ගිවිසුමට අනුව, දැනට ක්‍රියාත්මක වන තාක්ෂණික අභ්‍යාසලාභී පුහුණු වැඩසටහන (Technical Intern Training Programme – TITP) වෙනුවට 2027 අප්‍රේල් මාසයේ සිට නව ESD වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව වැඩසටහන මඟින් විදේශීය ශ්‍රමිකයන්ට අමතර රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන අතර, ජපානය තුළ දිගු කාලයක් රැඳී සිටීමට හැකි වන පරිදි අවශ්‍ය විධිවිධානද සැලසීමට නියමිතය.
ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ගේ කුසලතා සංවර්ධනය ශක්තිමත් කිරීම සහ ඔවුන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු බව SLBFE පවසයි.
නව වැඩසටහන යටතේ වැඩි ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් පිරිසකට ජපානයේ රැකියා ලබාදීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමටද SLBFE සහ IM Japan ආයතනය අපේක්ෂා කරයි.


