යුධ සමයේදී අතුරුදන් වූ බව කියන පුද්ගලයින්ගේ ඥාතීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වුණා.
වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කිරීම සඳහා අද එම ප්‍රදේශයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් විරෝධතාවයක් ද ආරම්භ කර තිබුණා.
මෙම පිරිස විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර, පොලිසිය මාර්ග බාධක යොදා එය තහනම් කර තිබීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම පිරිසගේ විරෝධතා පා ගමන විශ්වවිද්‍යාලයට ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලිසිය සහ හමුදාව එක්ව පම්පමඩුව යුද හමුදා කඳවුර ආසන්නයේ මාර්ග බාධක යොදා තිබිණි.
ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී තම දරුවන් සහ පවුලේ සාමාජිකයන් අතුරුදන් වූ බවට අතුරුදන් වූවන්ගේ ඥාතීන් ප්‍රකාශ කර තිබූ අතර ඔවුන් සිටින ස්ථානය පිළිබඳව රජයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද කියා සිටියේය.
විරෝධතාකරුවන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම වළක්වාලීම හේතුවෙන් ඔවුන් පම්පමඩුව යුද හමුදා කඳවුර ආසන්නයේ පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවක නිරත වුණා.
මුළු කණ්ඩායම වෙනුවට දෙදෙනෙකුට ජනාධිපතිවරයා හමුවීමට අවසර දීමට උසස් පොලිස් නිලධාරියෙකු සහ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ඉදිරිපත් වූ අතර විරෝධතාකරුවන් ඊට එකඟ වී නැත.