චෝදනා රැසක් යටතේ අසාද් සාලි අත්අඩංගුවට

ජාතික සමගි පෙරමුණේ නායක හා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සිය පෞද්ගලික මෝටර්රථයෙන් ගමන් කරමින් සිටියදී කොල්ලූපිටිය, ලිබර්ටි වටරවුමේදී ඊයේ සවස 6.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින්.

ඉකුත් 09 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අසාද් සාලි මහතා පවසා සිටියේ තමන් ඇතුළු මුස්ලිම් ජනතාව පිළිගන්නේ රටේ පවතින නීතිය නොව තමන් අදහන ඉස්ලාම් ධර්මය විසින් පනවා ඇති මුස්ලිම් නීතිය හා ෂරියා නීතිය බවයි.

මෙම ප්‍රකාශය ජාතිවාදී හැඟීම් අවුස්සන සුළු සහ එමගින් නීතිය අභියෝගයට ලක්කර ඇති බවටත් පාර්ශ්ව කීපයක් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

අනතුරුව නීතිපතිවරයා විසින්ද අසාද් සාලි සිදුකරන ලද ප‍්‍රකාශයන් මගින් අපරාධ නීති සංග‍්‍රහය හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවටත්, 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කර ඇති බවටත් ප‍්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලූ නීතිපතිවරයා එකී ප‍්‍රකාශය ජාතීන් හා ආගමික සමගියට බාධා වන ආකාරයේ ප‍්‍රකාශයක් බවත් එමගින් ලංකා දණ්ඩනීති සංග‍්‍රහයේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට සාධාරණ සැකයක් මතුවන බැවින් අසාද් සාලි මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබිණී.

අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ලබාදුන් එකී උපදෙස් අනුව වහාම කි‍්‍රයාත්මක වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *