ගොවීන්ට වායු රයිෆල්

කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන් වෙත සහන මිලට වායු රයිෆල් බෙදාදීම පසුගිය 22 වැනිදා සිට ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ ගොවීන් වෙත වායු රයිෆල් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරමින් ඔහු කියා සිටියේ වන සතුන්ගෙන් වගා හානි වැළැක්වීම සඳහා ගොවීන් වෙඩි බෙහෙත් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව ගොවීන් වෙත වායු රයිෆල් 268ක් බෙදා දීමට කටයුතු යොදා ඇත.

මේ වන විට වන සතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ ගොස් ඇති අතර වගා හානි සිදු කරන සතුන් අතර ටොක් වඳුරන්, මොනරුන් සහ යෝධ ලේනුන් ප්‍රමුඛ වේ. දැනට මෙම සතුන් ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර, වන අලි තවමත් එම ලැයිස්තුවට ඇතුළත් වේ.

“වන සතුන්ගෙන් සිදුවන වගා හානි වැඩි වී ඇති අතර, වගා හානි වැළැක්වීම සඳහා වෙඩි බෙහෙත් ලබාදෙන ලෙස ගොවීන් නිරන්තරයෙන් ඉල්ලා සිටින බව” අමාත්‍යවරයා පැවසීය.

එබැවින් වගා හානි වැළැක්වීමේ අරමුණින් ගොවීන්ගේ ඉල්ලීම පරිදි වායු රයිෆල් බෙදා හැරීමට කටයුතු කරමින් සිටින අතර මේ වසර සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, කිසිදු සතෙකුට හිංසා කිරීම සඳහා වෙඩි බෙහෙත් ලබාදිය නොහැකි බවත්, එබැවින් මෙම වායු රයිෆල් සතුන් මැරීමට භාවිතා නොකරන ලෙසත්, ඔවුන් පළවා හැරීමට පමණක් බවත්, කිසිදු හේතුවක් මත මිනිසුන්ට එරෙහිව වායු රයිෆල් භාවිතා නොකරන ලෙසත් අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

කිසියම් ගොවියෙකු විසින් මෙම වායු රයිෆල් භාවිත කරමින් මිනිසුන්ට හානි කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *