ගුවන්යානා ප්‍රමාදයෙන් දෙස් විදෙස් මගීන් යකානටයි

නේපාලයේ කත්මන්ඩු නුවර බලා ඊයේ(01) උදෑසන පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් යානයක ගමන් වාරය අවලංගු වීමෙන් මගීන් 200ක් පමණ දැඩි අපහසුතාවට ලක්ව තිබුණි.

මගීන් අතර සිටි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ගුවන් ගමන ප්‍රමාද වී ඇති බව වාර්තා වූ බවය.

ශ්‍රීලන්කන් ගුවන් ගමනක් අදත් මෙලෙස අවලංගු වූයේ මෙරට ගුවන්යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතුව ඇති පසුබිමකය.

ශ්‍රීලන්කන් ගුවන් ගමන් වාර ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ දිනවල රට තුළ මතුව ඇත්තේ දැඩි කතාබහකි.

මීට දෙදිනකට පෙර ද ගුවන් යානා ප්‍රමාදයක් සිදු වූ අතර එහිදී ගුවන්තොටුපොළ තුළ ඇතිවූ නොසන්සුන්තාව සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය විය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම එදින සඳහන් කළේ යානා කිහිපයක එකවර තාක්ෂණික දෝෂ මතුවීම හේතුවෙන් ප්‍රමාදය සිදුවූ බවය.

ඊයේමෙම අවලංගු වීම සිදුවුයේ එවැනි පසුබිමක් තුළය. ඊයේඑලෙස ප්‍රමාද වූයේ UL 181 දරණ ගුවන් යානයයි.

එම යානය ඊයේපෙරවරු 8.20ට කටුනායක ගුවන්තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

ගුවන් මගීන් පෙරවරු 07.15ට පමණ ගුවන් යානයට ඇතුළු කර තිබුණත් පෙරවරු 11.00 වන තෙක්ම යානය ගමන් ආරම්භ කර තිබුණේ නැත.

ප්‍රමාදයෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි මගීන් එය පටිගත කර තිබූ දර්ශන කිහිපයක් ද දැකගත හැකි විය.

මෙහි කාර්මික දෝෂයක් නිසා වෙනත් ගුවන් යානයක් ලබාදෙන බව පැවසූවත් එය ද සිදු නොවුණු බවට මගීන් චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් දෙස් විදෙස් මඟීන් රැසක් ගුවන්තොටුපොළේදී සිය අප්‍රසාදය පළ කළේය.

කෙසේ වෙතත් පැය ගණනක ප්‍රමාදයෙන් පසු එම ගුවන් ගමන අවලංගු කර තිබුණි.

රටේ ජාතික ගුවන් සේවා සන්නාමයට කැළලක් එක් කරන මෙම ගුවන් ගමන් ප්‍රමාදවීම් පිළිබඳ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයෙන් අප විමසුමත් කළේය.

එහිදී ඔවුන් පැවසුවේ ගුවන් ගමන් ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීමට අද  පෙරවරු 9.30ට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී විශේෂ රැස්වීමක් පැවැත්වෙන බවය.

ඊට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *