සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීම සඳහා පැමිණෙමින් තිබූ ශ්රී ලන්කන් ගුවන් සමාගමට අයත් UL 303 දරණ ගුවන් යානය, හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා කටාන දාගොන්න ප්රදේශයේ නිවාස 50 කට පමණ ඉකුත් ජුලි මස 05 වනදා හානි සිදුවී තිබුණි.
එම සිද්ධියෙන් මාස 3 කට ආසන්න කාලයක් මේ වනවිට ගතවී තිබුණත් හානියට පත්වූ නිවාස හා දේපොළ සඳහා මෙතෙක් වන්දි ලබාදීමට රජය පියවර ගෙන නොමැති බව වාර්තා වෙයි.
ඒ අනුව, නිවාස හා දේපොළ හානිවූ ප්රදේශවාසීන් සිවිල් සංවිධාන නියෝජිතයින් සමග පැමිණ වන්දි මුදල් ඉල්ලමින් කටුනායක සිවිල් ගුවන්සේවා අධිකාරිය ඉදිරිපිට ඊයේ (28) නිහඬ විරෝධතාවයක නිරත විය.
එහිදී ප්රදේශවාසීන් සඳහන් කළේ, “ඒ අය අපිට ලියුම් එවනවා මේක කාලගුණයෙන් වුණා කියලා. කාලගුණයෙන් කියනවා ඒ වෙලාවේ අපේ ප්රදේශයට සුළං තිබුණේ නැහැ කියලා. අපිට බලං ඉන්න කාලයක් නැහැ. අපි දුප්පත් මිනිස්සු.”