කොළඹ ගාලු මුවදොර ආසන්න වෙරළ තීරයට නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ.
අගෝස්තු 15 වැනිදා උදෑසන ලද තොරතුරක් මත කොටුව පොලිසිය සිදුකළ පරීක්ෂාවකදී මෙම මළ සිරුර සොයාගෙන ඇත.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, මළ සිරුරේ තත්ත්වය හේතුවෙන් හඳුනාගැනීම දුෂ්කර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මළ සිරුර සොයාගන්නා අවස්ථාවේදී මියගිය පුද්ගලයා රෝස පැහැති දිගු අත් සහිත කමිසයක් සහ කොට කලිසමක් ඇඳ සිට ඇත.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව සහ මරණයට හේතු වූ තත්ත්වයන් සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


