ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට රනිල් ගෙන් සංශෝධනයක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති  විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණි.

දෙදිනක් පුරා පැවැත්වෙන විවාදය පිළිබද ඡන්ද විමසීම හෙට පස්වරු 5.30 ට සිදු කිරීමට නියමිතය.

අදාළ යෝජනාව ඉදිරිපත් කළ එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා එය නිසි ලෙස නොකියවීම සම්බන්ධයෙන් සභාව තුළ උණුසුම් තත්ත්වයක්ද හටගැනුණි.

පසුගියදා ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබේ.

එය ජුනි මස 26 වනදා  කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ සියලු අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංගයක් ලෙස සංශෝධනය කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යෝජනාවක් ඉදිරිපත්කර තිබුණි.

එම සංශෝධනය සමගි ජන බලවේගය පිළිනොගත් බැවින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනුණි.

මේ අතර විශ්වාසභංග යෝජනාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡාකිරිම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

එහිදි තීරණය කර ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන සියලු මන්ත්‍රිවරුන් විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශකළ යුතු බවට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *