ගම්පහ ජල ප්‍රශ්නය වසර අවසන් වීමට පෙර විසඳනවා – ඇමැති රණතුංග

මේ වසර අවසන් වන විට ජල ගැටලුව අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පානීය ජල ගැටලූව විසඳීමට කඩිනම් කි‍්‍රයාමාර්ග ගනිමින් සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත පානීය ජල අවශ්‍යතාවය පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අමාත්‍ය රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පණ්ඩිකෝරල මහතාට උපදෙස් දී තිබේ.

මෙම වසර අවසන් වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම පවුලකටම පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ගම්පහ, ලක් සියනෑ මැදුරේ ඊයේ (30) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

දෙසැම්බර් මාසයේදී නිම කිරීමට නියමිත කරස්නාගල ජල ව්‍යාපෘතිය සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයේම ජල අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් වේද යන්න අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩලයෙන් විමසා සිටියා.

කරස්නාගල ජල ව්‍යාපෘතිය මේ වන විට ඉදිවෙමින් පවතින අතර දෙසැම්බර් මාසය වනවිට එය අවසන් කිරීමට හැකි වුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමට හැකිවනු ඇතැයි ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ.

එවිට අමාත්‍යවරයා විමසා සිටියේ මෙම ව්‍යාපෘතියේ කටයුතු කවදා අවසන් කළ හැකිද යන්න සම්බන්ධයෙන් නිලධාරීන්ට නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වන්නේ මන්දැයි කියායි. ඊට ප්‍රතිචාර දක්වමින් නිලධාරීන් පැවසුවේ මේ වනවිට සම්ප්‍රේෂණ නල 80%ක් පමණ අතුරා අවසන් බවත් දෙසැම්බර් මාසය වන විට සියලුම නල එළීම අවසන් කිරීමට හැකිවනු ඇති බවත්ය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සැලැස්මක් සකස් කර ගම්පහ දිස්ත්‍රික්කයේ 90% කටවත් ජල අවශ්‍යතා ලබා දෙන ලෙස අමාත්‍ය රණතුංග නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අත්තනගල්ල ජල ව්‍යාපෘතිය දෙසැම්බර් මාසය වන විට අවසන් කරන්නේද, එසේ නම් එම අවසන් කිරීමට සමගාමීව ජලය බෙදා හරින්නේද යන්න සහ සමස්ත අවශ්‍යතාවයෙන් මැතිවරණ කොට්ඨාස මට්ටමින් ආවරණය වන ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳවද ඔහු විමසා සිටියේය. කඩිනමින් වාර්තාවක් තමාට ලබාදෙන ලෙස ඔහු නියෝග කළේය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පණ්ඩිකෝරළ, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්- භාර, ආරක්ෂක අංශ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *