ගමන් මල්ලේ තිබූ මළසිරුරේ අභිරහස විසඳෙයි

සීදූව, දඬුගංඔය ඉවුරේ ගමන් බෑගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු 6 දෙනෙක් සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා අදාළ ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක මුදලක් ලබාගෙන ඇති බවය.

කෙසේවෙතත් ඔහු නැවත එම මුදල් ලබාදීමක් හෝ අදාළ පුත්‍රයා විදෙස්ගත කිරීමක් සිදුකර නොමැත.

පොලීසිය පැවසුවේ ඉන් උරණ වූ ව්‍යාපාරිකයා ඝාතනයට ලක් වූ පුද්ගලයාව පසුගිය 11 වනදා කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසලදී පැහැරගෙන කටානේ පිහිටි තමාට අයත් පොල් ඉඩමකට රැගෙනවිත් සිය පුතුන් දෙදෙනා හා සේවකයන් තිදෙනෙකු සමග එක්ව පහරදී ඇති බවය.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ එහිදී ඝාතනයට ලක් වූ පුද්ගලයා පළායෑමට උත්සාහ කර ඇති අතර අනතුරුව ඔහුව අල්ලාගෙන විත් කටානේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාට අයත් හෝටලයක පාලු කාමරයකට රැගෙන ගොස් යළිත් සිදුකළ පහරදීමේදී ඔහු මියගොස් ඇති බවය.

අනතුරුව මියගිය පුද්ගලයාගේ සිරුර ගමන් බෑගයකට දමා ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම කොටුගොඩ ප්‍රදේශයෙන් දඬුගං ඔයට දැමූ  බවද සැකකරුවන් පොලීසිය හමුවේ පවසා තිබේ.

පොලීසිය පැවසුවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙරද විවිධ පුද්ගලයන් විදෙස්ගත කරන බව පවසා මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සීදූව පොලීසිය විසින් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *