කොළඹ වරායේ බහාලුම් හැසිරවීමේ ධාරිතාව වැඩි කරනවා – ඇමති නිමල් සිරිපාල

කොළඹ වරායේ බහාලුම් හැසිරවීමේ ධාරිතාව ඉහළ නැංවීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සලකා බලමින් සිටින බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට මිලියන 8.5ක් වන අඩි විස්සකට සමාන ඒකක හැසිරවීමේ ධාරිතාව මිලියන 35 දක්වා වැඩි කරන බවයි.

නැඟෙනහිර බහාලුම් පර්යන්ත මෙහෙයුම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2023 මාර්තු 8 වැනි දින ආරම්භ වූ අතර මීටර් 1300 පර්යන්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 580 ක වියදමින් ඉදි කෙරේ. පර්යන්තයේ මෙහෙයුම් සඳහා අවශ්‍ය ගැන්ට්‍රි දොඹකර දැනටමත් ඇණවුම් කර ඇත. පර්යන්තයේ මහල් හතරකින් යුත් ප්‍රධාන මෙහෙයුම් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රු. මිලියන 1,300 ක් වන අතර එය ලබන වසරේ පෙබරවාරි මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ නැගෙනහිර බහාලූම් පර්යන්තයේ මෙහෙයුම් අර්ධ ස්වයංක්‍රීයකරණයෙන් සහ එහි මෙහෙයුම් සඳහා බඳවා ගන්නා අවම සේවක සංඛ්‍යාවකින් යුතුව මෙහෙයුම් සිදු කළ යුතු බවයි.

“මෙම අවස්ථාවන් මෙරට දක්ෂ තරුණ තරුණියන්ට ලබාදිය යුතුයි.මෙහෙයුම් ක්‍රියාවලියේ ඉහළ කාර්යක්ෂමතාවයක් තුළින්, විශේෂයෙන්ම වරාය සහ පර්යන්ත මෙහෙයුම් සඳහා ඉතාමත් දියුණු තාක්‍ෂණයන් උපයෝගී කරගනිමින් උපරිම ඵලදායිතාවක් ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබිය යුතුයි.මේ හේතුව නිසා සෑම කෙනෙකුටම ඉතා ලාභදායී නමුත් ඉහළ තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් තුළ ක්‍රියාත්මක වන ගෝලීය වාණිජ නැව් කර්මාන්තයේ නවතම ප්‍රවණතා හොඳින් හඳුනාගත යුතුය, ”ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *