කෙරවලපිටිය අන්තර්හුවමාරුවේ ගාස්තු ගැටය ලිහයි

කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කෙළවර පිටිය අන්තර් හුවමාරුවේ  වසර 10 ක සිට මේ දක්වා පැවතිි ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදය   අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ගේ පහසුව සඳහා  ඊයේ (22) දහවල් 12   සිට වෙනස් කිරීමට සැලසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පැවසීය.

ඒ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමේදී සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මගින් ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතු වන අතර , පිටත වට රවුම් මාර්ගයෙන් පැමිණෙන වාහන කටුනායක අධි මාර්ගයට ඇතුළු වීමේදී ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමකින් තොරව පිවිසිය හැකි වන අතර කෙළවර පිටිය අන්තර් හුවමාරුවෙන් පිටවන වාහන සඳහා පිටවීමේ ගාස්තු ගෙවා අධිවේගී මාර්ගයෙන් පිටවිය හැකි බව අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය.

ඊට අමතරව ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථ වාහන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී පමණක් එම පහසුකම ලබාගත හැකි බවත් ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථ වාහන පිටත වට රවුම් මාර්ගයට ඇතුළු වීමේදී ගාස්තු ගෙවා යන මන්තීරුවලින් ඇතුළු වීමට කටයුතු කළ යුතු බව අධ්‍යක්ෂකවරයා  සඳහන් කළේය.

අධිවේගී මාර්ගය භාවිතා කරමින්  කටුනායක දක්වා මෙතෙක් ගමන් කළ සහ කටුනායක සිට අනෙකුත් ප්‍රදේශවලට ගමන් ගත්  පාරිභෝගිකයන්ට ස්ථාන දෙකකදී ටිකට් පත් දෙකක් ලබා ගෙන  ස්ථාන දෙකකදී මුදල් ගෙවීමට සිදුවීමෙන්  අමතර කාලයක් මෙන්ම කෙළවරපිටිය පිවිසුමේ දැඩි රථ වාහන තදබදයක් ද සිදුවිය.

මෙම නව ක්‍රමවේදයෙන් එම සියලු අපහසුකම් දුරුවනු ඇතැයි අධ්‍යක්ෂක ජනරාල් වරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *