කිතුල්ගල වයිට් වෝටර් ඔරු පැදීමේ ගැටළු සොයා බැලීමට කමිටුවක් පත්කරයි.

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශයේ වයිට් වෝටර් රාෆ්ටින් ජල ක්‍රීඩාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) වාර්තා කරයි.

කිතුල්ගල ප‍්‍රදේශය අවට ජල ක‍්‍රීඩාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ පිළිබඳව සොයා බලා ඒ සඳහා ගතහැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් නිකුත් කළේ එම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.

සංචාරක අමාත්‍යාංශයේ සහ රේඛීය ආයතනවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුව ඉදිරිපත් කර ඇති ගැටලු සම්බන්ධයෙන් ක්ෂේත්‍ර විමර්ශනයක් කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ද ඔහු උපදෙස් දුන්නේය.

කිතුල්ගල ප්‍රදේශයේ වයිට් වෝටර් ඔරු පැදීම දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් ඇදී ගොස් ඇත.

කිතුල්ගල ජල පාරු කර්මාන්තයේ ක්‍රියාකාරිත්වයට බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිය සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති බව අදාළ සේවා සපයන්නන් පවසයි. මේ හේතුවෙන් තම ජීවනෝපාය මාර්ගවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, රටට විදේශ විනිමය ඉපැයීමේ හැකියාව ඇති මෙම ක්‍රීඩාව රැක ගැනීමට උදව් කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම සාකච්ඡාවට එක්වූ බ්‍රෝඩ්ලන්ඩ්ස් ජලවිදුලි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ දැනට පවතින තාක්ෂණික වැඩපිළිවෙළට අනුව කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් සේවා සපයන ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, අදාළ සේවා සපයන ප්‍රජාව විසින් මතු කරන ලද ප්‍රායෝගික ගැටලු පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති ලේකම්වරයා හැකි ඉක්මනින් විසඳුම් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේෂන්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, සංචාරක අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *