කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාදිතයින් 5 දෙනෙකු ඇතුළු කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.
එම ආයතනයේ පුද්ගලයින් 186 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්.පරීක්ෂණ මඟින් 120 දෙනෙකුම කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
එය සියයට 64.5ක ආසාදිතයින් වාර්තා වීමේ ප්රතිශතයකි.
ඉකුත් දින කිහිපය තුළ එම කම්හල් 166 දෙනෙකුට පී.සී.ආර්.පරීක්ෂණ සිදුකර තිබූ අතර ඉන් 109 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී තිබුණි.
තවත් 20 දෙනෙකුගේ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබූ අතර ඉන් 11 දෙනෙකුද වෛරසය ආසාදිතයින් ලෙස තහවුරු වුණි.
එම 11 දෙනා අතරින් අහඹු ලෙස තෝරාගත් 6 දෙනෙකුගේ සාම්පල පරීක්ෂාවෙන් 5 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් බවට මූලික වාර්තා ලැබී තිබේ.
ඒ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම ඊයේ ආසාදිතයින් 200 ඉක්මවා වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 291 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 228 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 227 දෙනෙකු හඳුනාගෙන තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ නව ආසාදිතයින් 173 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් ද ඊයේ නව ආසාදිතන් වාර්තා වී තිබුණි.
දින 06කට පසුව මෙරට වැඩිම දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1,554ක් වේ.
ඉන් 43 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය.