ක්‍රිකට් ක්‍රීඩක අසීෆ් ඛාන්ට තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් මාස 15ක තරග තහනමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩක තහනම් උත්තේජක ද්‍රව්‍යයක් භාවිත කළ බවට පිළිගැනීමෙන් අනතුරුව මාස 15ක තරග තහනමකට ලක්කර තිබේ.

2025 සැප්තැම්බර් 8 වැනිදා තරගවලින් බැහැරව සිදුකළ පරීක්ෂණයකදී mesterolone නම් තහනම් ද්‍රව්‍යයේ පරිවෘත්තීය නිෂ්පාදනයක් (metabolite) ඔහුගේ සාම්පලයේ තිබී හඳුනාගෙන ඇත.

අසීෆ් ඛාන් විසින් ICC Anti-Doping Code හි 2.1 වගන්තිය උල්ලංඝනය කළ බව පිළිගෙන ඇති අතර, ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය (WADA) සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ ඇතිකරගත් Case Resolution Agreement යටතේ මාස 15ක තහනම පිළිගෙන තිබේ.

මෙම තහනම 2025 සැප්තැම්බර් 8 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර 2026 දෙසැම්බර් 7 වැනිදා දක්වා බලපැවැත්වේ.

ICC Anti-Doping Code අනුව, 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට කණ්ඩායමක් සමඟ පුහුණුවීම්වලට එක්වීමට හෝ සමාජයක හෝ ICC සාමාජික ආයතනයක පුහුණු පහසුකම් භාවිත කිරීමට අසීෆ්ට අවස්ථාව හිමි වේ. කෙසේ වෙතත්, ඔහුට යළි තරග කිරීමට සුදුසුකම් ලැබෙන්නේ 2026 දෙසැම්බර් 8 වැනිදා සිටය.

2025 සැප්තැම්බර් 8 වැනිදා සිට ඔහුට තාවකාලික තරග තහනමක් පැනවූ 2025 දෙසැම්බර් 29 වැනිදා දක්වා ඔහු ලබාගත් සියලුම පුද්ගලික ප්‍රතිඵල අවලංගු කර තිබේ.

ඒ අනුව එම කාලසීමාව තුළ හිමි වූ පදක්කම්, ලකුණු, ත්‍යාග මුදල් සහ අනෙකුත් ත්‍යාග ඇතුළු සියලු ප්‍රතිඵලද අහිමි වේ.

Case Resolution Agreement යටතේ මෙම තීරණයට එරෙහිව අභියාචනා කිරීමේ අයිතියක් නොමැති බවද ICC සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *