කළු කඩ ඩොලර් යොදා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීම පිළිබඳ වාර්තා බැසිල් ප්‍රතික්ෂේප කරයි

යුධ සමයේදී උතුරු කොරියාවෙන් කළුකඩ ඩොලර්වලින් ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙළි කළ බවට  (31) පළ වූ පුවත් වාර්තාව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ කතා කර ඇති බව සඳහන් කරන අමාත්‍යාංශය සඳහන් කළේ, එම ප්‍රවෘත්තියේ තමන්ට ආරෝපණය කර ඇති අදහස් අමාත්‍යවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ කළු කඩ ඩොලර් යොදා ගනිමින් සිදු කළ මිලදී ගැනීම් කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකර ඇති බව මීට පෙර වාර්තා විය.

ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් අවි ආයුධ මිලදී ගත්තේ සිවිල් යුද්ධය උග්‍ර වූ සමයේ කළු කඩයෙන් ලබාගත් මුදල්වලින් බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා දිවයින පුවත්පතට ප්‍රකාශ කර ඇති බව වාර්තා විය.

මෙරට ඉරිදා සිංහල පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු හෙළිකර ඇත්තේ එම කාලය තුළ ඉන්ධන සඳහා ගෙවීමට ශ්‍රී ලංකාව ද කළු කඩ ඩොලර් ලබාගෙන ඇති බවයි.

යුද්ධය පැවති සමයේ ඉන්ධන නැව්ගත කිරීම සඳහා රටට ගෙවීමට ඩොලර් අවශ්‍ය වූ බව පවසමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ තමන් අනෙකුත් නිලධාරීන් සමඟ කොළඹ ‘පිටකොටුව’ ව්‍යාපාරික දිස්ත්‍රික්කයට පැමිණි බවත් එහිදී තමන් කළු වෙළඳපොලේ ඩොලර් සුරක්ෂිත කිරීම සඳහා වෙළඳුන් සමඟ සාකච්ඡා කළ බවත්ය. .

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ක්‍ෂය වෙමින් පවතින අවස්ථාවක, රටට අත්‍යවශ්‍ය ඩොලර් ගෙන ඒම සඳහා කළු කඩ ක්‍රමය යොදා ගැනීම සාධාරණීකරණය කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ තම මතය අනුව ඩොලර් එක එක ක්‍රමයෙන් රට තුළට ගලා යා යුතු බවයි.

බැංකු ක්‍ෂේත්‍රයෙන් පරිබාහිරව ඩොලර් වෙනස් කර වැඩි මුදලක් ලබා ගැනීමට මිනිසුන් බලා සිටීමේ කිසිදු වරදක් තමන් නොදකින බවද අමාත්‍යවරයා පවසා තිබුණා.
(පුවත්පත්)

විදේශ අමාත්‍යාංශයේ නිවේදනය

උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් බවට එල්ල වන චෝදනා විදේශ අමාත්‍ය පීරිස් ප්‍රතික්ෂේප කරයි

2022 ජනවාරි 31 දිනැති newsfirst.lk වෙබ් අඩවියේ “අපි උතුරු කොරියාවෙන් අවි ආයුධ මිලදී ගත්තේ කළු කඩ ඩොලර් වලින්’ – ඇමති බැසිල් ආර්” යන පුවතක් වෙත විදේශ අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මේ සම්බන්ධයෙන් තම කැබිනට් සගයා වන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ කතා කර ඇති බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වයි.

මෙම ප්‍රතිචාරයට ඉහත ප්‍රවෘත්තියට සමාන ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නම් විදේශ අමාත්‍යාංශය එය අගය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *