වෙනත් පුද්ගලයකුට අයත් ගිණුමකින් රුපියල් 134,000ක මුදලක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම ගිණුමට බැර කර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයෙක් තලාතුඔය පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොළඹ මිහිඳු මාවතේ පිහිටි නාගරික රටවාහන කොට්ඨාශයයේ පොලිස් කොස්තාපල්වරයෙකි.
ඉලූක්මෝදර ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි අයකු තම බැංකු ගිණුමෙන්ඔන් ලයින් ක්‍රමය ඔස්සේරුපියල් 584,555 ක මුදලක් වංචාවෙන් ලබාගෙන ඇති බවට පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
ලැබුණු මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී මෙම සැකකාර කොස්තාපල්වරයාට අයත් ගිණුමට එම මුදලින් කොටසක් වූ රුපියල් 134,000 මුදලක් බැරවී ඇති බවට හෙළිවීමෙන් පසු එම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බවද තලාතුඔය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන් විනය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇතැයි දැනගැනීමට ඇත.