ඔක්සිජන් අත්‍යවශ්‍ය රෝගීන් සියයට හැත්තෑ පහකින් ඉහළට

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ ගෙවුණු දින 10ක කාලය තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 75 කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දැක්වේ.

රෝහල්වල ධාරිතාවද ඉක්මවා යමින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් වාර්තා වන පසුබිමක ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවත් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබේ.

පසුගිය ජූලි 19 වනදා සිට ජූලි 28 වනදා දක්වා දින 10 සැලකීමේදී ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් දෛනිකව 227 ත් 409 ත් අතර පරාසයක පැවැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දැක්වේ.

ඒ අනුව එම දින 10 තුළ ඔක්සිජන් අවශ්‍ය වූ රෝගීන්ගේ සාමාන්‍ය අගය 291 ක් පමණ විය.

කෙසේවෙතත් එම අගය ක්‍රමයෙන් ඉහළ යමින් ජූලි 29 වනදා සිට අගොස්තු 07 වනදා දක්වා දින 10 තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 441 ත් 602 ත් අතර පරාසයක් දක්වා වර්ධනය වීම සැලකිය යුතු තත්ත්වයකි.

එම දින 10 තුළ ඔක්සිජන් අවශ්‍ය වූ රෝගීන්ගේ සාමාන්‍යය 509 දක්වා ඉහළ ගොස් තිබේ.

එය පෙර දින 10ට සාපේක්ෂව සියයට 75ක පමණ වර්ධනයකි.

සෞඛ්‍ය අමාත්‍යාශයේ දත්ත අනුව ඊයේ (07) දිනය වනවිට ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 602 දක්වා වර්ධනය වී තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ, මීට පෙර පැවති තත්ත්වයට වඩා ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව වැඩිවී ඇති බවය.

“නමුත් ඔක්සිජන් දැනට අපට හිඟයක් නෑ. අපට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය තියෙනවා. නමුත් අපට හදිස්සියක දී තවත් ඔක්සිජන් ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ සඳහා තියෙන රාජ්‍ය අමාත්‍යාංශයත් සම්පූර්ණ සැලසුම් මේ වන විට සකස් කර අවසන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *