උසස්පෙළ සිසුවිය මවට ලිපියක් ලියා නිදි ඇඳේම මියගිහින්

මොනරාගල පොලිස් වසමට අයත් වැඳිකුඹුර අම්පිටිය පදිංචි උසස්පෙළ හදාරන පාසල් සිසුවියක් ඉකුත් (24) වෙනිදා මවට ලිපියක් ලියා නිදි ඇඳේම  මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල වැඳිකුඹුර විද්‍යාලෝක අංශයෙන් උසස්පෙළ හදාරන වීරසිංහ කංකානම්ලාගේ මෝක්ෂා සෙව්වන්දි (18) නැමති සිසුවියකි.

ඇයගේ පියා මීට වසර හතරකට පමණ ඉහතදී වනඅලියෙකු පහරදීමෙන් මියගොස් ඇත.

මව,මල්ලි සහ ඇය නිවසේ පදිංචිව සිටින අතර ඉකුත් (24) වෙනිදා උදෑසන මව උක්ගස් කැපීම සඳහා නිවසෙන් පිටවගොස් ඇති අතර මල්ලිද උපකාරක පන්තියකට ගොස් තිබේ.

පස්වරු තුනට පමණ මල්ලි පැමිණ බලන විටදී ඇය නිදිඇදේ මියගොස් සිටිනු දැක ඇත.ඇය විසින් ලියන ලද ලිපියේ “අම්මා අපි නිසා දුක් විඳිනවා.ඒ ගැන මට කනගාටුයි”කියා සඳහන්කර ඇත.

ආර්ථික දුෂ්කරතා නිසා ඉගෙනගැනීමට පවා ඇයට ගැටළු තිබී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ. ඇයගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ ඉකුත් (25) වෙනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පවත්වන ලද අතර ඇයගේ මරණය සම්බන්ධයෙන් හේතුව අනාවරණය නොවන බව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.එන්.ආර් යාපා මහතාගේ වාර්තාවේ සඳහන් වේ.

ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමුකර ඇත. මොනරාගල පොලීසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජානක රත්නසිරි මහතා පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *