උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4%ට සාපේක්ෂ ව සැප්තැම්බරයේ දී උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබේ.

ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ සටහන් වූ සියයට ඍණ 4.8ක සිට සැප්තැම්බර් මාසයේ දී සියයට ඍණ 5.2 දක්වා තවදුරටත් පහත වැටී තිබීම විශේෂත්වයකි.

අගෝස්තු මාසයේ දී 8.7%ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහත වැටී ඇත්තේ 4.7%ක් ලෙසයි.

මේ අතර, 2023 වසරේ ගතවූ මස 07 තුළ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 18ක ශුද්ධ ලාභයක් ලබා ඇතැයි එම සමාගම පවසයි.

මේ බව හෙළිකෙරුණේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ය.

මේ අතර, රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යේෂ්ඨ පුරවැසියන් ගේ පොලී රඳවා ගැනීම නිසා ඇති වූ ගැටලුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ අතර බස්, ලොරි රථ ඇතුළු රථ වාහන ආනයනය සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමේ ගැසට් නිවේදනය හිටිහැටියේ බල රහිත වී ඇති බවත් ඒ නිසා තමන් දැඩි දුෂ්කරතාවට ලක් ව ඇති බවත් ශ්‍රී ලංකා රථ වාහන ආනයනකරුවන් ගේ සංගමය නිවේදනය කර ඇත.

මේ අතර, ලීසීං ණය වාරික ගෙවන්නන් ගේ සංගමය, කල්බදු මූල්‍යකරණ පනත සංශෝධන කිරීම පිළිබඳ යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අද ඉදිරිපත් කර ඇත.

එහි දී ඔවුන් චෝදනා කළේ, බැංකු පොලී අඩු කරන ලෙස මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *