පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබිය දී අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපොළ තමාට අයත් බව කියමින් ඉජ්ජාල් අහමඩ් යන අයට එම දේපොළ මුදා හරින ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(06) ප්‍රතික්ෂේප කර තිබේ.
ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්, 2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් සිදු කරමින් මියගියේය.
ඔහු දෙමටගොඩ මහවිල ගාඩ්න්ස් හී පදිංචි ව සිටි බව වාර්තා විය.
මේ අතර, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කරමින් මියගිය තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් ජහරාන් නොහොත් මොහොමඩ් අබු උබෙයිදා නොහොත් මොහොමඩ් සහරාන්, ඔහුගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් මස 06 වනදා කැදවන ලෙස ද කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, මියගිය ස්වයං ඝාතක බෝම්බකරු වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, මොහොමඩ් මර්සුක් අයතුල්ලා, මොහොමඩ් ඉල්මි යන අයවළුන්ට මහාධිකරණයේ නඩු පවරා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොහම්මදු මෂ්නුක් මුහම්මදු රයිලා, මොහොමඩ් මුෆායිල්, මොහොමඩ් අයතුල්ලා යන ඇප මත මුදා හැර ඇති සැකකරුවෝ අද නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී සිටියහ.