ඉෂාලිනිගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේදි මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ඉදිරියේදි අද පෙරවරුවේ යළි ගොඩගත්තේය.

මුද්‍රා තබා තිබු ඉෂාලිනිගේ දේහය විවෘත කර පවුලේ සාමාජිකයින්ට දේහය හඳුනා ගැනීමට මෙහිදි අවස්ථාව ලබා දුන්නේය.

අනතුරුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගිය දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (31) දිනයේදි සිදු කිරීමට නියමිතය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල සහිතව ඉකුත් 3 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

දින ගණනාවක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ජුලි මස 15 වැනිදා මියගියේය.

දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් වුයේ, ඇයට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇත අතර පිළිස්සුම් තුවාල විෂබීජ ආසාධනයක් හේතුවෙන් ඇති වු කම්පනයකින් මරණය සිදුව ඇති බවය.

එම සිද්ධියට අදාළව පැමිණිල්ල ඉකුත් 26 වැනිදා කැඳවු අවස්ථාවේ දී අධිකරණය නියෝග කළේ එම දැරියගේ මළ සිරුර යළි ගොඩගෙන විධිමත් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරිම හා නීතිපතිවරයාගේ නිර්දේශ මත පත්කළ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුව ඉදිරියේ ඩයගම සුසාන භූමියේ තැන්පත් කර තිබු මළ සිරුර අද පෙරවරු 9ට පමණ ගොඩගනු ලැබීය.

එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරිම සඳහා නුවරඑළිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ද එම ස්ථානයට පැමිණ සිටියාය.

දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යෙය් අද පස්වරු 12.30 පමණ ගොඩගත් මුද්‍රා තබා තිබු මළ සිරුර පවුලේ ඥාතීන්ට හඳුනා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නේය.

අනතුරුව දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට වෙත රැගෙන ගියේය.

මේ අතර 43 වැනි සේනාංක මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නීතිඥවරු සඳහන් කළේ මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම සාධාරණ නොවන බවය.

ළමා අපයෝජන, ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම යන කාරණා පදනම් කර ගනිමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද ජාතික ළමා රක්ෂණ අධිකාරිය ඉදිරිපිටදී උද්ඝෝෂණය නිරත විය.

එමෙන්ම ඉෂාලිනි දැරියගේ මරණයට වගකිව යුතු අයට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඌව පරණගම අලගොල්ල වත්තේ ජනතාව අද පෙරවරුවේ විරෝධතාවක නිරතවිය.

ඒ අතර ඉෂාලිනි දැරියගේ මරණයට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් පහතරට වතු කම්කරු සංගමය අද ඇල්පිටිය කැටන්දොළ ශ්‍රී මුත්තුකුමාරි අම්මාන් කෝවිලේදි පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *