ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීමේ සූදානමක්…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය..

රාජ්‍ය ආයතනවල වංචා දූෂණ පිළිබදව සොයා නොබලා ඩීසල් පෙට්රල් මිල හා විදුලි බිල වැඩි කිරීමට සූදානමක් .

නව අගමැතිවරයා විසින් 2022/05/16 දින ජාතිය අමතා ප්‍රකාශ කරන ලද්දේ රජය මේ වන විට පෙට්රල් ලීටරයකින් රුපියල් 84. 38 ක් හා ඩීසල් ලීටරයකින් රුපියල් 131.55 ක් හා බූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 ක් පාඩු ලබන බවත් මෙම තත්වය තෙල් සංස්ථාවට තවදුරටත් දරාගත නොහැකි බවත්ය. තවද විදුලි ඒකකයකක් සදහා රුපියල් 48.00 ක මුදලක් වැයවන බවත් ඒ අනුව විදුලි ඒකකයක් සදහා පාඩුව රුපියල් 30.00 ක් බවත් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම තත්වය වලක්වා ගැනීම සදහා රජය විසින් ඩීසල් පෙට්රල් හා භූමිතෙල් මිලද විදුලි බිලද වැඩි කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත. තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මෙම පාඩුව ලබනුයේ එම ආයතන තුළ පවතින වංචා හා දුෂණ නිසා බව මෙරට ජනතාව හොදින්ම දන්නා අවස්ථාවක එම ආයතන තුළ දැනටමත් පවත්නා වංචා හා දූෂණ පිළිබදව සොයා නොබලා මිල පමණක් වැඩි කිරීමට රජය කටයුතු කරන්නේ නම් පාරිභෝගික සංවිධානයක් ලෙස අපි ඊට දැඩිව අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමු.

අදාල ආයතන වල සිදුවන වංචා හා දූෂණ හේතු කොටගෙන සිදුවන පාඩු සදහා පාරිභෝගිකයින් වගකිවයුතුද යන ප්‍රශ්ණය අප මෙම අවස්ථාවේ නව අගමැතිවරයාගෙන් විමසන අතර එම ආයතන පාඩු ලබන හේතු පිළිබදව වහාම සොයා බලන ලෙසද ඉල්ලා සිටිමු.

එම ආයතන වල සිදු වූ වංචා හා දූෂණ පිළිබදව හෙළි කිරීමටද අප සංවිධානය සූදානම් බවද එතුමා මෙරට විශ්ව විද්‍යාලයක උපාධිදාරියෙකු වන නිසා එම කරුණු කෙරෙහි සිය අවධානය යොමු කරනු ඇතැයි හා ඒ අනුව එම ආයතන වල වංචා හා දූෂණ නවතා දමා එම පාඩුව වලක්වා ගැනීමට කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *