ඉන්දියාවෙන් රුපියල් මිලියන 450ක්

ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ඉන්දීය රුපියල් මිලියන  450ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් ඊට අදාළ චෙක්පත තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වෙත භාර දෙනු ලැබීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් මේ වන විට ලැබී ඇති බවත්, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවත් මෙහිදී සඳහන් කෙරිණි.

නිසි කාල රාමුවක් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙසත්, සතියකට වරක් රැස්වී එහි ප්‍රගතිය සමාලෝචනය කරන ලෙසත් සාගල රත්නායක මහතා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගය මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියේ දී ඉතා වැදගත් බව පැවසු සාගල රත්නායක මහතා ඒ වෙනුවෙන් ඉන්දීය රජය ලබා දෙන සහාය පිළිබඳ ස්තූතිය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *