ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජුනි 19 වනදා ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරීන්ට අමතරව තවත් කණ්ඩායමක් වෙතද බලය පවරා ජංගම සේවා ක්‍රියාත්මක කිරිමේ හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනතාව මේ කෙරෙහි උනන්දු කරවමින් එම ප්‍රතිලාභය ඔවුන් වෙත ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරී ඇති වගකීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මෙහිදී සඳහන් කළ අතර එළැඹෙන ජූලි 03 වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

ඒ යටතේ රසායනික විද්‍යාව,භෞතික විද්‍යාව, ජිව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, විදේශ භාෂා යන විෂයයන් සඳහා ගුරු පත්විම් 2100ක් සහ 2021 වසරේ දී පවත්වන ලද ඉංග්‍රීසි මාධ්‍ය උසස් ඩිප්ලෝමා විභාග ප්‍රතිඵල මත ගුරුවරුන් 500ක් බඳවා ගැනීමට කටයුතු සුදානම් කර ඇති බවත් ඒ සමඟ එම විෂය ධාරාවන්ට අදාළව ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු බොහෝ දුරට මඟ හැරෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවා ගැනීම වෙනුවෙන් දැනට විශ්‍රාම ගොස් සිටින ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඔවුන්ව කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා අධ්‍යාපන පරිපාලන සේවයේ හා ගුරු අධ්‍යාපන සේවයේ නිලධාරින්ගේ හිඟය පියවා ගැනීම සඳහා ද කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සඳහන් කළේය.

මේ අතර අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *