නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු සැක කෙරෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (01) පස්වරුවේ හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත. නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විගණන අංශය විසින් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, සුදුසුකම් ලැබූ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර විය යුතු මුදල් එසේ නොකර, අදාළ නිලධාරීන් දෙදෙනාගේ ඥාතීන් සහ හිතවතුන්ගේ බැංකු ගිණුම් වෙත මාරු කර ඇති බවට සැක කෙරෙන බවයි.
පොලිස් විමර්ශනවලදී මෙම බව කියන වංචාව 2025 වසරේ සිට සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. අයථා ලෙස ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය මීට වඩා සැලකිය යුතු ලෙස ඉහළ විය හැකි බවට විමර්ශකයන් සැක පළ කරන අතර, මෙම වංචාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙනත් නිලධාරීන්ගේ සහාය ලැබී තිබේද යන්න පිළිබඳවද පරීක්ෂණ සිදු කරමින් පවතී.
අස්වැසුම ප්‍රතිලාභීන් කිහිපදෙනෙකු තමන්ට හිමි මුදල් බැංකු ගිණුම්වලට බැර වී නොමැති බව සඳහන් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආරම්භ කළ මූලික පරීක්ෂණයකදී මෙම බව කියන වංචාව අනාවරණය වී තිබේ.


