අවුරුදු 16ත් 19ත් අතර සිසුන් එන්නත්කරණය ආරම්භ වේ

අවුරුදු 16ත් 19ත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද (22) සිට දිවයින පුරා ආරම්භ වේ.

ඒ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව අවුරුදු 16,17,18 සහ 19 යන වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය.

එම එන්නත්කරණ වැඩසටහන සඳහා අවශ්‍ය ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොග සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මේ වන විටත් යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ‍්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.

“පාසල් ළමුන්ගේ වයස් කාණ්ඩ 16,17,18,19 යන සියලුම වයස් කාණ්ඩවල එන්නත්කරණය අපිට ආරම්භ කරන ලෙස පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ත් ඔවුන්ගේ යටතේ සිටින වසංගත රෝග වෛද්‍ය නිලධාරීන් ට අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. ඒ අනුව ආරම්භ කරන ලද එන්නත්කරණ වැඩපිළිවෙල පාසල්වල 16,17,18,19 යන සියලුම වයස් කාණ්ඩවල ළමුන්ට එන්නත්කරණය ආරම්භ කරනවා ඇති. අපි ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවක් මෙහිදී ලබාදෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *