අවාසනාවන්ත යුගයක් මතු පරපුරට නෑ – ජනපතිගෙන් සහතිකයක්

පසුගිය සමයේ රට මුහුණදුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කර නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන අතර නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව එහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව සහ රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මෙම වසර අවසන් වන විට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගනිමින් රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා. නමුත් එය සිදුකිරීමට නම් අප රාජ්‍ය වියදම් පාලනය කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ආර්ථියක් බවට පරිවර්තනය වීමටද අවශ්‍යයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. අප ගනු ලබන පියවර නිසා “බංකොළොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළග පියවර නොගතහොත් තවත් වසර 10ක් යන තැන නැවත බංකොළොත්භාවයට පත් වෙනවා. එසේ නම් නව ක්‍රමයක් ඔස්සේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමේ මූල්‍ය විනයක් එහිදී තිබිය යුතුයි. 

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනා මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. නමුත් අවාසනාවකට අධිකරණයට ගොස් එය නතර කිරීමට ඇතැමුන් උත්සාහ කළා. එහිදී මූලිකව මතු කළ ගැටලුවක් තමයි සේවක අර්ථ සාධක අරමුදලෙහි ප්‍රශ්නය. නමුත් මේ වන විට එහි සියලු සාමාජිකයන්ට 9% ක පොළියක් ලබා දෙන බවට නීති කෙටුම්පතක් ඉදිරිපත් කර එම කටයුතු සිදුකරගෙන යනවා. ඒ නිසා මේ යන මාර්ගය නතර කරන්න බෑ. නතර කරන්න අපිට උවමනාත් නෑ.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය අනුව මූල්‍ය බලතල පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන කිසිවෙකුට නොවෙයි. ඒ වගේම මීට අදාළව ගොනු කළ සියලු පෙත්සම් මේ වන විට  ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් කර ගැනීමෙන් පසු අප නිසි ලෙස ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි. අද බොහෝ දෙනෙක් මේ රට හැර ගොස් තිබෙනවා. එලෙස රටින් පිටව ගිය විශේෂඥයන්, වෘත්තීවේදින්ගේ සංඛ්‍යාව දෙස බලන විට අපට පහසුවෙන් එම හිඩැස පුරවා ගත නොහැකියි. කෙසේ හෝ සියලුදෙනාට ජීවත්විය හැකි හොඳ ආර්ථික පසුබිමක් රට තුළ ගොඩනැගීමට අප දැන් කැපවී සිටින බව කිව යුතුයි. 

ආණ්ඩුවට ලැබෙන ආදායම, වියදම් පියවීමට ප්‍රමාණවත් නොවීම සහ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩිවීම අද මේ රට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස පෙන්වා දිය හැකියි.  හැමදාම මේ සඳහා ණය ගැනීමට අපට හැකියාවක් නැහැ. ණය ප්‍රශ්ස්තකරණයෙන් පසු නැවත මෙම ප්‍රශ්නය මතු වෙනවා. අප එය වළක්වාගත යුතුයි. ඒ සඳහා අප දළ දේශීය නිෂ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ නංවාගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වැඩිකළ විට රටට ලැබෙන ආදායම ඉහළ යනවා. අනෙක් පසින් අප අපනයනය ද වැඩි කර ගත යුතුයි. මෙම වැඩපිළිවෙළ ඉදිරි වසර 10දී අප ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා.

අද ආණ්ඩු පක්ෂයේ වුණත්, විපක්ෂයේ වුණත් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨවලින් වැඩක් නැහැ. රට මුහුණදී තිබෙන අභියෝගය මනා ලෙස විග්‍රහ කරමින් ඒ සඳහා ඇති විසඳුම් සමග අප ඉදිරියට යා යුතුයි. එම විසඳුම් පිළිගන්නේ නැති නම් ප්‍රශ්න විසඳිය හැකි විකල්ප ඉදිරිපත් කළ යුතුයි.”

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එම්.පී.බී. දෙහිදෙණිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *