අවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්දික් ඕමානයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් සිද්දික් ඉන්දීය ජාතිකයෙකු ලෙස වෙස්වලාගෙන ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන සිටියදී ඕමානයේදී අත්අඩංගුවට ගත් බව බුද්ධි අංශ අනාවරණ කළා.

මොහොමඩ් සිද්දික් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක සහ බුද්ධි අංශ දීර්ඝ කාලයක සිට සිදුකළ මෙහෙයුමකට අනුව ඔහුගේ මෙරට සංචාරය පිළිබඳව ඕමාන් බලධාරීන් දැනුවත් කළ බවද ආරංචි මාර්ග අනාවරණය කළා.

අබුඩාබි දේශසීමාවට ආසන්න ප්‍රදේශයක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව සඳහන්. ශ්‍රී ලංකාවට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගෙන ඒමේ මහ මොළකරු බව කියන මොහොමඩ් සිද්ධික් ශ්‍රී ලංකාවේ කාන්තාවක් සමඟ විවාහ වීමට අමතරව පාකිස්තානයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක සමඟ විවාහ වී සිටින බව පැවසේ.

මොහොමඩ් සිද්දික් මීට පෙර ඉන්දියාවේ රැඳී සිට ඇත්තේ නේපාල දේශසීමාවට ආසන්න ප්‍රදේශයකයි.ඔහු සමඟ මාකිලංගමුවේ සංජීව සහ ගෝත අසංක නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනාද රැඳී සිට ඇති බවද පැවසේ.

සංජීව සහ අසංක ඉන්දීය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සිද්ධික් සිටින ස්ථානය සොයා ගෙන ඇති බව දැනගන්නට ඇත.

එහෙත් සංජීව සහ අසංක තවමත් සිටින්නේ ඉන්දීය අත්අඩංගුවේද යන්න පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරු ලැබී නොමැත.

මෙහි සිටින ඇතැම් ආරක්‍ෂක නිලධාරීන්ගේ පුද්ගලික සම්බන්ධතා මත ඉන්දියාවෙන් තොරතුරු විමසූ විට ඉන්දීය නිලධාරීන් නිල නොවන මට්ටමින් මොහොමඩ් සිද්දික් අත්අඩංගුවට ගැනීම තහවුරු කර ඇත.

මොහොමඩ් සිද්දික්ට ඉන්දියාවේ අධිකරණයක් විසින් දීර්ඝ සිරදඬුවමක් ලබාදී ඇති අතර ඔහුට එරෙහිව ඉන්දියාව ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් පවා නිකුත් කර ඇති බව අනාවරණය වේ.

එම අපරාධය සම්බන්ධයෙන් සිද්දික් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු බන්ධනාගාරයෙන් පැනගොස් ඇති බව සඳහන්. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඕමානයේ අත්අඩංගුවේ පසුවන සිද්දික් ඉන්දියාවට ගෙන්වා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් සිටින බවද පැවසේ.

සිද්දික් පාකිස්තානයේ අන්තවාදීන් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සමීප සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් කුප්‍රකටය.

2003 වසරේ ජීප් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි මොහොමඩ් සිද්ධික් ඇතුළු පස් දෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය මගින් බොරලස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ ඔහු පසුව රටින් පැන ගොස් ඩුබායි සහ පකිස්ථානයේ රැඳී සිටියා.

ඉන්දියාව හරහා බෝට්ටු මගින් මෙරටට හෙරොයින් රැගෙන ඒම වෙනුවට සිද්දික් පාකිස්ථානයේ සිට කන්ටේනර්වල සඟවා මෙරටට හෙරොයින් රැගෙන ඒම ආරම්භ කර ඇති බව සඳහන්.

සිද්දික් මෙහි සිට සීෂෙල්ස් සහ මාලදිවයිනට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක් ද දියත් කර තිබුණි.

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක් ලබා ගැනීමට පොලිසිය පියවර ගත්තා.

එහි ප්‍රතිඵලයක් ලෙස මොහොමඩ් සිද්ධික් සහ වෙලේ සුදා පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් පාකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ගොස් 2015 මාර්තු මාසයේදී සිද්ධික් ලංකාවට ගෙන්වා ගත්තේය.

රැඳවුම් නියෝගයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව රඳවාගෙන සැප්තැම්බර් මාසයේදී අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සිද්දික් සමඟ බොරලස්ගමුවේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 8.3ක් බව රජයේ රස පරීක්ෂකවරයා පවසයි. ඒ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසු 2018 සැප්තැම්බර් 13 වැනිදා කොළඹ මහාධිකරණය විසින් සිද්ධික් ඇතුළු නඩුවේ විත්තිකරුවන් පස්දෙනාම නිදොස් කොට නිදහස් කරන ලදී. ඒ, ඔහුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත් වීම සහ පරස්පර සාක්ෂි මත ය. මෙයින් පසු ඔහු ඉන්දියාවට පලා ගොස් ඇත.

ඉන්දියාව ජාත්‍යන්තර පොලිසිය හරහා සිද්දික්ට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කර ඇතත් ඔහුට එරෙහිව මෙරටින් එවැනි නියෝගයක් නොමැති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මොහොමඩ් සිද්ධික් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වුවද ඔහුට එරෙහිව මෙරට තුළ චෝදනා නොමැති තරම් බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *