sagala`

අයහපත් කාලගුණයෙන් වැනසුණු නිවාසවලට වන්දි මුදලක් දීමට හෝ නිවාස නැවත ඉදි කර දීමට ජනපති උපදෙස් දුන්නා – සාගල

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් දීමට හෝ එම නිවාස නැවත ඉදි කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

එසේම අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කරගැනීම සඳහාද සිදු වී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් දීමට පියවර ගන්නා බවද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ තද සුළං, ගංවතුර හා පස්කඳු කඩාවැටීම් වැනි ස්වාභාවික ආපදා නිසා හානි වූ නිවාස නැවත ඉදි කර දීම හෝ උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් දීම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

පූර්ණ වශයෙන් හානි වූ නිවාස සඳහා ප්‍රතිලාභීන්ගේ එකඟතාව මත යම් උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් දීමට හෝ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නිවාස කඩිනමින් ඉදි කර දීමටත්, අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කරගැනීම සඳහා සිදු වී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් දීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ස්වාභාවික ආපදා හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් දෙන ලෙස මෙහිදී සාගල රත්නායක මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා අදාළ රේඛීය ආයතන ප්‍රධානීන් මේ සාකච්ඡාවට එක්ව සිටි අතර, අදාළ දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඊට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *