අමාත්‍ය ධම්මික පෙරේරාගෙන් නව වැඩපිළිවෙළක්…

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ‘එක් දින’ සේවාව ලබන සඳුදා (04) සිට තවත් දිස්ත්‍රික්ක තුනක ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද ප්‍රකාශ කළේය.

මාතර, මහනුවර සහ වවුනියාව පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ශාඛා කාර්යාලවලදී මෙම එක්දින සේවාව ආරම්භ කරන බව අමාත්‍ය පෙරේරා මහතා පැවසීය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ තවත් ශාඛා කාර්යාල පහක් විවෘත කිරීමට අදහස් කරන බව ධම්මික පෙරේරා මහතා මීට පෙර ප්‍රකාශ කළේය.

ප්‍රාදේශීය මාධ්‍යයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට මහනුවර සහ මාතර ශාඛා කාර්යාලවල එක්දින ගමන් බලපත්‍ර සේවාව ලබා නොදෙන අතර කුරුණෑගල කාර්යාලයේ අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රය නොමැති බවයි.

මෙම හේතූන් මත එම ප්‍රදේශවල ජනතාව කොළඹට පැමිණ දින කිහිපයක් රැඳී සිට කොළඹ කාර්යාලයෙන් එක්දින සේවා වැඩසටහන මඟින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා බව ඔහු පැවසීය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තවත් ශාඛා කාර්යාල පහක් විවෘත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව සඳහන් කළ අමාත්‍ය ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේ තම මුදල් යොදවා යාපනයේ පළමු කාර්යාලය විවෘත කරන බවයි.

“ටෙන්ඩර් කැඳවීමට මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇත. ඒ නිසා මම මගේම මුදල් යොදවා යාපනයේ පළමු ශාඛා කාර්යාලය විවෘත කරනවා,” ඔහු පැවසීය.

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් විදේශගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ඉතිරි කාර්යාල විවෘත කිරීමට පරිත්‍යාග ලබා ගැනීම හෝ ඒ සඳහා තම මුදල් යෙදවීම පිළිබඳව සොයා බලන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *