ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන් අද(16) එක් සංඝසභාවක් බවට පත්කිරීම සිදුවිය.
මේ අනූව එම නිකායන් “ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව” ලෙස අද සිට ක්‍රියාත්මක වනු ඇත. පූජ්‍ය වැලිතර ඥානවිමලතිස්ස මහ නා හිමියන් බුරුමයේ අමරපුරයේදී උපසම්පදා වී මෙරටට වැඩම කොට 1802 දී “ශ්‍රී ලංකා අමරපුර නිකාය” ආරම්භ කළ අතර “ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය” මෙරට බිහි වූයේ 1863 දී බුරුමයේ රාමඤ්ඤ දේශයේ සිට වැඩම කළ පූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්රාසභවර ඥානසාමි නා හිමිගේ මූලිකත්වය ඇතිවයි.
අමරපුර හා රාමඤ්ඤ නිකායන් දෙක අතර වසර කිහිපයක් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙරට ජාතික, ආගමික හා ශාසනික කටයුතු වලදී එක්ව ක්‍රියාකිරීම සඳහා “ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව” පිහිටුවීමට තීරණය කෙරුණි.
ඊට අදාල සම්මුතියට අද කොළඹදී අත්සන් තැබුණු අතර ඊට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පෙමසිරි හිමියන් විසින් මෙම සම්මුතියට අත්සන් තබනු ලැබුහ.