අපේම දරුවන්ගේ සිත කියවන ‘විෂම භාග‘

විෂම වූ හැකියාවන්ගේ හරය නොදන්නවුන්, අධ්‍යාපනයේ අකෘතිමය ලවය විශාල කොටගෙන පූර්ණ තරගකාරී රාමුවක ළමා මනස සිරගත කොට තිබෙන යුගයකි මේ. මේවා කලෙක පටන් සුළු නොවන “විෂම භාග” බවට දැනටමත් පත් වී හමාර ය. පාසල් අධ්‍යාපනයේ වකුගඩු නරක් වී මියැදෙමින් තිබෙන මෙවන් මොහොතක, ලලිත් රත්නායක පිරිසිදු සිනමා පැන් පොදක් අප වෙත අත දිගු කොට පිරිනමා ඇත. එන්න, අපි ඒ පැන් පොදෙහි සිසිල විඳගනිමු.

ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, පන්සිලු වික්‍රමරත්න (ළමා නළු), පන්කජ වික්‍රමරත්න (ළමා නළු), සහ තිලක්ෂිනී රත්නායක යන අයගේ රංගන දායකත්වයෙන් “විෂම භාග” ප්‍රේක්ෂකයා හමුවට ආවේ පසුගිය දෙසැම්බර් 16 වැනිදාය. ඒ හිස් අතින් නම් නෙවෙයි. ලොව වටා සුප්‍රකට ජාත්‍යන්තර සිනමා උළෙල රැසක සංචාරය කොට සිනමා සම්මාන, නාමයෝජනා සහ නිල තෝරාගැනීම් 70කුත් අතැතිව යි මේ දිවයිනට ගොඩබහින්නෙ. සම්මාන ගැන වැඩි විස්තර අපි මේ ලිපිය අවසානයේ දී කතා කරමු. ඊට වඩා වටින කතාවක් “විෂම භාග” ඇතුළෙන් එහි තිරපිටපත් රචක සහ අධ්‍යක්ෂක ලලිත් රත්නායක අපිට කියනවා. මෙන්න, අන්න ඒ කතාව.

”විෂම භාග” ශී‍්‍ර ලංකාවේ පිටිසරබද සබරගමුව පළාතේ ගොවි පවුලක් වටා ගෙතුනු කතා පුවතකි. කතා වියමනට පාදක වූ රුවන්සිරි නැමති කතා නායකයා වටා ගොඩනැගෙන මෙකී පවුල, කලෙක අභිමානවත් වෘත්තියක් වූ ගොවිකම ධනවාදයේ ගොදුරට හසුවෙමින් වසර ගණනාවක් මුළුල්ලේ ස්වයංපෝෂිතභාවය ආර්ථික වශයෙන් ක‍්‍රමයෙන් පිරිහී ගිය කඩතොළු වූ වර්තමානික ගොවි පවුලක් නියෝජනය කරවයි. සැබවින්ම මෙය පුංචි හිතක ඇතිවන පීඩනයක් සහ දෙදරා යන සොඳුරු සිතුවිලි සංකේතවත් කරනා චිත‍්‍රපටයක් ලෙසින් ද කිව හැකිය. තවත් ආකාරයකින් කිවහොත් වැඩිහිටියෙකුගේ එක වචනයකින් ළමා මනසට කෙතරම් බලපෑමක් කළ හැකිද යන්නත් මේ තුළින් විද්‍යාමාන වේ. විෂයානුබද්ධ අධ්‍යාපන ක‍්‍රමයේ ගුරුවරයෙකු විසින් ලබාදෙන නියෝගයක් හේතුවෙන් මානසිකව පසුබසිනා ළමා මනසක් කැඩපත් කරවන කනගාටුදායී අත්දැකීමක් ගැන විග‍්‍රහයක් ද චිත‍්‍රපටය තුළ ගලා යන්නේය.

රුවන්සිරි සහ කමලසිරි උප්පත්තියෙන්ම සමාන භාග දෙකකි. නමුත්, ඔවුන් හැකියාවන්ගෙන් සහ රුචිකත්වයන්ගෙන් විෂම යි. එකම පන්තියේ ඉගෙන ගන්නා රුවන්සිරිගේ මලයණ්ඩි වන කමලසිරි ගණිත දැනුමෙන් තම අයියණ්ඩිට වැඩිමහල් ය. ගණිතයෙන් බාල රුවන්සිරි සංගීතමය හැකියාවෙන් පරිපූර්ණ මෙන්ම අතිශය සංවේදී මානවවාදී හිතැත්තෙකි.

රුවන්සිරිට කලින් වෙලාවට ලකලැහැස්ති වී පාසල වෙතට යන්නේ කමලසිරි යි. රුවන්සිරිගේ උරහිස මත ඊට ප්‍රථම ව ඉටුකරන්නට ස්වකීය වගකීමකි. තම නිවසට සැලකිය යුතු දුරකින් ගලාහැලෙන ඇළ පාර හා ඔට්ටුකොට වතුර බූලිය හිස් නොකර තබාගැනීම, තම පියා වකුගඩු හා සටන් වැද මියගිය දා පටන් රුවන්සිරි සතු එකී කර්තව්‍යය යි. එය රුවන්සිරි තම ස්වකීය චින්තනය හා ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකි. එහෙයින්, ඔහු එය කරට ගන්නේ වගකීමක් ලෙස නොව වගවීමක් ලෙසිනි. ගණන් පාඩමකට එහා ගිය මේ “වගකීම හා වගවීම” ද කාට කාටත් වටින පාඩමකැ යි සිතේ.

පාසලට ආ විගස තම බෑගය තමාගේ මේසය උඩ තබා රුවන්සිරි නික්මෙනුයේ සංගීත කාමරයට යි. එහි ගොස් ගීත පුහුණු වී පෙරලා පැමිණෙන විට ගණන් මහත්තයා පන්ති කාමරයට පැමිණ හමාර ය. මේ ගණන් මහත්තයාගේ ගණන්කාර බසින් රුවන්සිරි තැලෙයි, පෙළෙයි. දිනක් ගණන් මහත්තයා කළු ලෑල්ලෙහි විෂම භාග ගණනක් ලියා එය සුළු කරන්නට රුවන්සිරිට අඬගසයි. එම ගණන සුළු කිරීමට රුවන්සිරි අපොහොසත්ව පීඩාවට පත්ව බිම බලාගන්නා කල්හි ගණන් මහත්තයාගේ අතින් රුවන්සිරිගේ කන ඇඹරෙයි. ඊළඟ දවසෙ මේ ගණන හදාගන්න බැරි වුවහොත් එතැන් පටන් හතරෙ පන්තියේ හිඳගන්නට සිදුවන බවට ගණන් මහත්තයා රුවන්සිරි වෙත අවධාරණාත්මක ස්වරයෙන් පවසයි.

තමාට ගණන් බැරි වීමේ පීඩනයෙන් කල්පනා සාගරයක ගිලී ගෙදර ජනෙල් කවුළුවෙන් රුවන්සිරි එපිට බලාගෙන සිටියි. කවුළුවෙන් එපිට වැලක තමාගේත්, මල්ලිගේත් ඉස්කෝල කමිස දෙක එලා ඇත. ඈත සිට දිව එන කලබලකාර මඳනලට කමිස දෙක නුපුරුදු රිද්මෙකට එහෙටත්, මෙහෙටත් වැනෙයි. මොහොතකට පසු වැලෙහි ගෙල ලා තිබූ කමිස දෙකෙන් එකක් බිමට පතිත වෙයි. වත්මන් අධ්‍යාපන ක්‍රමවේදයෙහි වන අවුල, රුවන්සිරිලාගේ ගෙල හිරකරන අයුරු අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂක මනස තුළට කාවද්දන්නේ එවන් අපූර්වත්වයකිනි. පුළුවන් එකා අල්ලගෙන ඉන්නෙත්, බැරි එකාව අල්ලගෙන ඉන්නටවත් නොදී හලා දමන්නෙත් මේ යල්පැනගිය ක්‍රමවේදයන් විසිනි. “කලාව කන්න ද?” පන්නයේ ගණන්කාරයින්ට “විෂම භාග” සැර පහරකි. මෙකී සිනමාත්මක ගමන් මඟෙහි පය පටලවා නොගෙන ගමන් ගතහොත් එවන් සූක්ෂම වූ සංකේතාත්මක සංඥා කිහිපයක්ම ප්‍රේක්ෂකයාට සම්මුඛ වනු නිසැක ය. එවිට ගණන් පුළුවන් කමලසිරිලාටත්, ගණන් බැරි රුවන්සිරිලාට වුවත් මේ විෂම භාග හඳුනාගන්නට අපහසු නැති වග පවසන්නේ ඉතාමත් විශ්වාසයෙනි.

තැනේ හැටියට ඇනේ ගසන්නට කොපමණ අය හිටියත්, තැනේ හැටියට ගැළපෙනම ඇණේ ගසන්නට හැකි නිර්මාණවේදීන් අල්ප ය. තම කුළුඳුල් සිනමා නිර්මාණයෙන්ම මෙසේ පෙළහර පෑම එසේ-මෙසේ කටයුත්තක් නම් නොවේ. අහක දැමිය හැකි මට්ටමේ කිසිදු රූපරාමුවක් මෙහි දී හමුවූයේ නම් නැත. (ඔබට හමුවුවහොත් කියන්න.) අදාළ චරිතයටම ගැළපෙන පරිදි සංඛ්‍යාත්මකව අල්ප වූ රංගන ශිල්පීන් ප්‍රමාණයක් යොදාගනිමින් නිර්මාණය කරන ලද මෙහි කතා තේමාවත්, නිෂ්පාදන අරමුණත් යන දෙකාරණයන්ම සාක්ෂාත් වී තිබෙන බව පැහැදිලි ය. එය තවදුරටත් පැහැදිලි කළහොත්; මෙහි කතා තේමාව කොටගෙන ඇත්තේ මීට ඉහත දී සඳහන් කළ පරිදි ම, වත්මන් අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති දුර්වලතාව යි. එමෙන්ම මෙහි නිෂ්පාදන අරමුණ, මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩා විඳින ගම්මානවල වෙසෙන ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම යි.

https://www.facebook.com/TheOtherHalfSriLanka/videos/601699823706138/ 

“විෂම භාග” චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය සපයන්නේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසිනි. චීනය, පිලිපීනය, භූතානය, ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල පැවැති පිළිගත් ජත්‍යන්තර සිනමා තරගවල දී අනෙකුත් බොහෝ නිර්මාණ අබිබවමින් “විෂම භාග” ඉදිරි පෙළ සීරුවෙනි. එමෙන්ම ලෝකප්‍රකට ඉපැරැණි A ශ්‍රේණියේ සිනමා උළෙලක් සහ දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාතික සිනමා උළෙලක් ද වන ගෝවේ 50 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී “විෂම භාග” Soul Of Asia වර්ගීකරණයෙන් පිදුම් ලබයි. තවද, ජැක්සන් ඇන්තනී සිය රංගන දිවියේ නව මානයක් සනිටුහන් කරමින් ඔහු ලද ප්‍රථම ජාත්‍යන්තර සිනමා සම්මානය ද “විෂම භාග” ඔස්සේ හිමිකර ගනියි. පෙර සඳහන් කළ පරිද්දෙන්ම “විෂම භාග” තුළින් ලැබෙන ලාභය රුපියලක් නෑර යොදවනුයේ ලංකාවේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින අසරණ මිනිස්සුන්ට සරණක් වනු පිණිස හෙයින්, ලංකාවේ ප්‍රථම සමාජ සත්කාරක චිත්‍රපටය ලෙසින් ද “විෂම භාග” මුදුන්පත් වෙයි.

එසේ නම්, කලක් තිස්සේ සුළු නොවන “විෂම භාග” හඳුනාගන්නට ඔබට ඇරයුම් කරමින්, මෙහි අධ්‍යක්ෂක ලලිත් රත්නායකගේ පණිවිඩයක් සමගින් නික්මීමට අවසර.

වැඩිහිටියෙකුගේ එක වචනයකින් ළමා මනසට කෙතරම් බලපෑමක් කළ හැකි ද?

විෂම භාග’ දරුවෙකුගේ අභ්‍යන්තර චෛතසිකත්වය තුළ කැකෑරෙන වේදනාව අත්විඳින්නට ප්‍රේක්ෂකයාට ඇරයුම් කරයි.” 

(උපුටා ගැනීම – roar.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *