2019 ජනාධිපතිවරණයේ ජවිපෙ අපේක්ෂකයා එහි පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතායි. පසුගියදා මාධ්‍යවේදි හරින්ද්‍ර ජයලාල් මහතා සමග Youtube සම්මුඛ සාකච්ඡාවකට එකතු වුන ඒ මහතා තමන්ගෙත් තම පක්ෂයේත් ප්‍රතිපත්ති සහ අනාගත දේශපාලන ආර්ථික වැඩපිළිවෙල ගැන කරුණු දැක්වූවා.
එම සාකච්ඡාවේදී අනුර කුමාර දිසානායක මහතා දැක්වූ අදහස් වල සාරාංශයක් අපි පහතින් දක්වා තිබෙනවා.
ප්‍ර: ඔබතුමාගේ ඉහළම අධ්‍යාපනික සුදුසුකම කුමක් ද?
පි: මම කැළණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙක්.
ප්‍ර: අවසන් වතාවට ජවිපෙ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට සහභාගී වුයේ, 1999 දී නන්දන ගුණතිලක මහතායි. අවුරුදු 20 කට පසු මෙවර ජවිපෙ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. එයට හේතුව කුමක්ද?
පි: මීට පෙර පැවැති 2005, 2010 සහ 2015 ජනාධිපතිවරණ සමයේ රටේ සුවිශේෂී දේශපාලන තත්වයක් තිබුණා.
ප්‍ර: ඒ වෙනස කුමක් ද?
පි: 2005 දී අපේ රට බෙදා වෙන් කිරීමේ ඉම ට ඇවිල්ලා තිබුණා. එක් කඳවුරක් නිශ්චිතව පෙනී සිටියේ එම බෙදා වෙන්කිරීම පෝෂණය කරමින් ඉදිරියට යන්න. එම කඳවුර පරාජයට පත්කිරීම අනිවාර්ය වී තිබුණා. අපේ මාතෘභූමිය නිදහස් කරගැනීමට. ඒ වෙනුවෙන් අපි තීන්දුවක් ගත්තා.
2010 දී අපි දුටුවා යුද්ධයෙන් පසුව රට පාලනය කළ පාලන කණ්ඩායම ගමන් කරමින් තිබූ දිසාව. ඇත්තටම 2010 දී අපේ ප්‍රයත්නය සාර්ථක වූවා නම් හලාවත ඇන්තනී රතුපස්වල දරුවන් දෙදෙනා සහ මාධ්‍යවේදීන් ගණනාවක් තාමත් ජීවතුන් අතර ඉන්නවා. 2015 දී අපි දැක්කා එක පවුලක් අපේ රට ගෙනයමින් තිබුණ අන්තය එමනිසා 2015 දීත් අපි ජනතාවට කියපු පණිවිඩය තමයි පවතින පාලනය බිඳ වට්ටන්න ගෙඩනැගෙන පාලනය ගැන සහතික දෙන්න බැහැ. අපි දන්නවා ඔවුන් කවුද කියලා. ඒ නිසා ගොඩනැගෙන පාලනයට එරෙහිව සටන් වදින්න. ප්‍රජාන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගන්න පෙළ ගැසෙන්න කියන ආරාධනය තමයි අපි කලේ. ඒ නිසා මම විශ්වාස කරනවා 2015, 2010, 2005 කියන්නේ සුවිශේෂී දේශපාලන අවශ්‍යයතාවයන් එය අදට වඩා වෙනස් කියන එක තමයි අපේ අදහස
ප්‍ර: මෙවර ජනාධිපතිවරණයට ඔබතුමා ඉදිරිපත් වන්නේ පවතින ක්‍රමයට විරෝධය පල කිරීමක් වශයෙන්ද නැතිනම් ජනාධිපතිවරයා බවට පත්වීමේ නිශ්චිත අරමුණ ඇතිවද?
පි: අපි තරග වදින්නේ ජයග්‍රහණය අපේක්ෂාවෙන්. මොකද මේ රටේ කිසිකු පුරවැසියෙකුට තවදුරටත් මේ අවුරුදු 71 ක විනාශකාරී ගමන ඉදිරියට ගෙනයන්න දායකත්වය දෙන්න කිසිදු හැකියාවක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ජයග්‍රහණය අපේක්ෂා කරනවා. නමුත් ජයග්‍රහණය කර හැකිවන්නේ අපේ බලාපොරොත්තුවටම නොවෙයි. ජයග්‍රහණය කල හැකි වන්නේ ජනතාව ඒ සඳහා පෙරමුණ ගන්න සූදානම් නම්. ඒ බලාපොරොත්තුවෙන් තමයි අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ.
ප්‍ර: මෙම අරමුණෙන්ම මෙවර විකල්ප බලවේග කිහිපයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ජනතාවගේ අපේක්ෂාවක් තිබුණා මෙම සියලු විලක්ප බලවේග එකම වේදිකාවකදී දැක ගන්න.
පි: අපිත් ඒ සඳහා උත්සාහයන් දැරුවා. නමුත් එම උත්සාහයන් අසාර්ථක වෙලා තියෙනවා. අනික් සියලු දෙනා ගොඩවිය යුතු වේදිකාව තමයි ජාතික ජන බලවේග වේදිකාව. එසේ නැතිව තැන් තැන් වල කුඩා ගුලි ගැසීමෙන් සිදු වන්නේ ඒ පොදු උවමනාවට හානි වීම.
ප්‍ර: ජාතික ජනතා ව්‍යාපාරය පසුගියදා සඳහන් කලා ඔබතුමාත් සමග සාකච්ඡා කලා, එහි ධනාත්මක බවක් තියෙනවා, බොහෝ දුරට ඔබතුමා ඔවුන් සමග අත්වැල බැඳ ගනියි කියලා. එවැනි සාකච්ඡාවක් සිද්ද වුනා ද?
පි: සාකච්ඡා සිදු වුනා. හැබැයි මෙහෙමයි හරේන්ද්‍ර අපි දේශාපාලන ව්‍යාපාරයක් අපිට දොරේ හඬ යි බෙරේ හඬයි වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. අපි දොරේ හඬට බෙරේ හඬ කියන්නේ නැහැ. බෙරේ හඬට දොරේ හඬ කියලා රැවටෙන්නෙත් නැහැ. ඒ සාකච්ඡා මම හිතනවා ඉතාමත් සුහදව විවෘතව සිදු වුනාට වඩා යම් යටි අරමුණු සහිතව එම සාකච්ඡා සිදු වුන බව තමයි මට නම් දැනෙන්නේ.
ප්‍ර: පසුගියදා ඔබතුමා විවේචනයක් කලා අපේ රටේ ජනපතිවරු අගමැතිවරු ඇමතිවරු රටේ ආර්ථිකයට බරක් කියලා.
පි: රටේ ජනගහනයෙන් 43% ක දවසක ආදායම ඩොලර් 2කට අඩුයි. ලක්ෂ 86ක ඩොලර් 2කට අඩුයි. මුළු රටම විශාල ඛේදවාචකයක ඉන්නවා. එය විසදීම සඳහා බලය ගන්නා නායකයන් අයවැයේ මුදලින් විශාල පංගුවක් තමන්ගේ අතට ගන්නවා. සමහර පාලකයන්ගේ දවසක වියදම කෝටි 7 ඉක්මවනවා. අපව ඔබ ජනාධිපතිවරයා ලෙස තෝරා ගන්නට සූදානම් නම් පළමු කොටම මා හිටපු ජනාධිපතිවරු රාජ්‍ය වියදමෙන් බලා ගන්න එක නතර කරනවා. අමාත්‍යවරයෙක් ජනාධිපතිවරයෙක් නඩත්තු කිරීම ජනපද හත අටක් නඩත්තු කරනවා වගේ වැඩක් මෙහෙම කරන්න ඕනද? එහෙම කරන්න පුළුවන් රටක් නොවෙයි මේක.
ප්‍ර: මේ තත්වයට බල පෑ ඇති ප්‍රධානතම හේතුව කුමක් ද?
පි: 2018 මහ බැංකු වාර්තාව පරීක්ෂා කරාම පේනවා භාණ්ඩාගාරයේ ගිණුමට එන ආදායම රු. බිලයන 1919 යි. හැබැයි අපි අරගෙන තිබෙන ණය වලට ඒ වසරේ ගෙවිය යුතු ණය සහ පොලී වාරිකය රු. බිලියන 2054 යි. මේ අර්බුදය ක්‍රමිකව විසඳීමේ වැඩ පිළිවෙලක් අපිට තියෙනවා .
අපේ ආර්ථික ප්‍රතිපත්තිය දුප්පත්කම විකිණීම නෙමෙයි. දුප්පත්කම තුරන් කිරීම.
ප්‍ර: ඔබතුමන්ලාගේ ආර්ථික ක්‍රමෝපායන් ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කිරීමට ඒවා ක්‍රියාත්මක කල හැකි කණ්ඩායමක් සිටිනවාද?
පි: ඔව්. දැන් හම්බන්තොටින් ගන්න කිරි අපි අඹේවෙලට ගෙනියනවා. අඹේවෙලට ගෙනියන්නේ මේ කිරිවල වතුර අයින් කරලා පිටි කරන්න. අඹේවෙල ෆැක්ටරියේ හදපු කිරි නාරාහේන්පිට ගබඩාවට ගේනවා. නාරාහේන්පිට ගබඩාවෙන් මේවා නිකුත් කරනවා. ආපහු තිස්සමහාරාමයට කිරි පිටි පැකට් එක ගෙනියනවා. තිස්සමහාරාමයට ආවා වතුර නැතිව කිරි ආපහු ගෙදර ගෙනිහින් ඒ කිරි එකට වතුර දානවා. ඉතින් ඵලක් නැහැනේ. ලෝකයේ කිරි පිටි කියන්නේ අතිරික්තය ගබඩා කරගන්න ක්‍රමයක්. නැතුව ආහාර පානයක් නොවේ. වැඩි වුනාම ගබඩා කරගන්න. අපිට මදි. ඒ නිසා අපේ සැලැස්ම වුනේ කිරි වල ප්‍රවාහන වියදම අඩු කරන්න. ඒ පාස්ටරීකරණ කර්මාන්ත ශාලා, දියර කිරි කර්මාන්ත ශාලා දාන්න ඕන. එතකොට මේ දාමය කෙටි වෙනවා. එතකොට කිරි ගොවියාට වැඩි මිලක් කිරි වලට ගෙවන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයාට සාධාරණ මිලට කිරි ගන්න පුළුවන්. ඒ වගේ සැලැස්මක් තිබෙනවා.
ප්‍ර: ඔබතුමන්ගෙ 2015 වසරෙන් පසුව හොරු ඇල්ලීම සහ මිනී මරුවන් ඇල්ලීම කියන කාරණාව බොහොම සංවේදීව සාකච්ඡා කලා. නීතිය ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීම ගැන ඔබතුමන්ලා කුමක්ද කියන්නේ. ඔබතුමන්ලාට ඉඩක් ලැබෙනවා නම් නීතිය ගැන ඔබතුමන්ලාගේ දැක්ම කුමක් ද?
පි: 2015 දී විශාල බලාපොරොත්තුවක් තිබුණා වංචනිකයන්ට දඩුවම් ලබාදීම වංචා කරන ලද දේපළ පවරා ගැනීම සහ අපරාධකරුවන්ට දඩුවම් ලබාදීම. එය කරන්න බැරිවුනා. හේතු 2 කයි. එක දේශපාලන හේතු. දේශපාලන මැදිහත්වීම් තිබුනා මේ බේරා ගැනීම් වලට. දෙක මූල්‍යමය හේතු. වංචාකරුවන් ඇති තරමට සල්ලි විසි කළා. දැන් ඔබ අහනවා අපි දඩුවම් දෙයි ද? එකක් අපි අවධාරණය කරන්න කැමතියි. අපි පාලනයක් හදන්නේ කිසිවෙකුගෙන් පලි ගන්න නොවෙයි. හැබැයි අපිට අවංක චේතනාවක් තියෙනවා. මේ මහ ජනයාට අයිති දේපළ කවර හෝ කෙනෙක් අයථා ලෙස උපයා ගෙන තිබෙනවා නම් එය මහ ජනයාට ආපසු ලබාදීම ආණ්ඩුවක වගකීම. මහින්දගේ ආණ්ඩුවේ වංචනිකයන්ට දූෂිතයන්ට දඩුවම් දීමේ අයිතිය රනිල් වික්‍රමසිංහට නැතිව ගියේ 2015 පෙබරවාරි 27 ආණ්ඩුවට දින 50 ක් පිරෙන්න කලින්. එයා මහ බැංකුව හොරකම් කරලා එයා කොහොමද තව වංචනිකයකුට දඩුවම් දෙන්නේ. එයට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපේ රටේ වංචනිකයන්ට දූෂිතයන්ට දඩුවම් ලබාදිය හැකි වන්නේ වංචාවේ දූෂණයේ යෙදුණු දේශපාලන ව්‍යාපාරවලට නොවෙයි, වංචාවේ දූෂණයේ නොයෙදුණු අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට පමණයි. එය අපි කරනවා.
සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව