අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් විසින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ මගී බස් සේවාවක් අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ඊයේ ආරම්භ කෙරිණි. .
ඒ අනුව මෙම බස් රථ සේවාව ආරම්භ වීමත් සමඟ බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා රුපියල් 50ක මුදලකට ගමන් කිරීමේ අවස්ථාව හිමිවේ. දුම්රිය-බස් ඒකාබද්ධ කාලසටහන් පද්ධතියකට අනුව බස් රථය දිනකට 15 වතාවක් ධාවනය කිරීමට නියමිතය.
සඳහිරු සෑය, ඉසුරුමුණිය, අභයගිරිය, සමාධි පිළිමය, ජේතවනාරාමය, ථූපාරාමය, ඇතුළු සියලුම සිද්ධස්ථාන ආවරණය වන පරිදි ‘බෝ සමිඳු වන්දනා’ බස් මාර්ගය සැලසුම් කර ඇත.
විශේෂයෙන් පොහොය දිනවල සහ සති අන්තයේ කිසිදු බාධාවකින් තොරව දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා අවම මුදලකට අටමස්ථානය ඇතුළු අනුරාධපුර පූජා නගරය වැඳ පුදා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන්ගේ සහ සංචාරකයන්ගේ අවශ්‍යතාවක් මතුව තිබේ.
ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන පහසුකම් බොහෝ කාලයක සිට පවතින නමුත් වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට බලහත්කාරයෙන් වාහනවලට දමා දරාගත නොහැකි තරම් ඉහළ ගාස්තු මුදල් අයකර හිරිහැර කිරීමේ සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක බව අටමස්ථානාධිපති නාහිමියන් අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී මීට සති කිහිපයකට පෙර පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව විවිධ මාධ්‍ය ඔස්සේ විවේචනාත්මක පුවත් පළ වූ අතර නිකිණි පොහෝ දින සිට නව බස් රථ සේවාවක් ආරම්භ කරන ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.
අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති රුවන්වැලි චෛත්‍යරාමාධිපති, පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් සහ මහා සංඝරත්නය, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. චන්ද්‍රසේන, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) පණ්ඩුක ස්වර්ණහංස යන මහත්වරුන් ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. .