අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ, සැකකාරියව ඊයේ (14) අලුත්කඩේ අංක 7 මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කරමින් ආගමන විගමන පාලකයවරයාට අත්තනෝමතික ලෙස ලිපියක් යොමු කිරීම සහ අදාළ නඩු ගොනුව අස්ථානගත කිරීම හේතුවෙනි.

සැකකාරියව අද අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ, ජීවිතාරක්ෂණ සමාගමකින් රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් ව්‍යාජ ලේඛන සකසා වංචා කිරීම හේතුවෙන් වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පුද්ගලයාට එල්ලවූ චෝදනා 8න් 7කට වරදකරු කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා සිරදඬුවම් පමුණුවා තිබුණේ පසුගියේ පෙබරවාරී මස 15වනදා බවය.

එදිනම අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් යොමුකරමින් අදාළ සැකකරු ඇප ලබාගෙන තිබු බවද ඔවුන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට එම නඩු ගොනුව මහාධිකරණය වෙත යැවීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ලේඛන භාර නිලධාරිණිය සෙවූවද එය හමුවී නොමැත.

පසුව ඇය විසින් එය ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට දැනුවූවද ඇය එය මගහැර සිට ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

එවන් පසුබිමක සැකකාර රෙජිස්ට්‍රාර්වරිය පසුගිය 12 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ යතුරු ලියන තැනැත්තියට විදෙස්ගමන් තහනමක් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ආකෘති පත්‍රයක් නඩු අංකයක් ද සමගින් ලබාදී එය ටයිප් කර දෙන ලෙස පවසා තිබේ.

ඒ පිළිබඳව සැක සිතී යතුරුලියන තැනැත්තිය, ලේඛනභාර නිලධාරිණියට මේ පිළිබඳව දැනුම්වත් කර තිබේ.

අදළ ලේඛයයේ ඇති නඩු අංකය හා අස්ථානගත වී ඇති නඩු අංකය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී අදාළ අංක දෙකම එකක් බව තහවුරුවී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අතුරතුර ආගමන විගමන පාලකවරයා වෙත සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ෆැක්ස් පණිවිඩයක් යවා අදාළ සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉවත්කළ බව පවසා ඇති බවද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ කොළ කැබලි කිහිපයක් සැකකාරියගේ කසළ බඳුනෙහි තිබී සොයාගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ, ඊයේ දිනයේදී නඩුව කැඳවා අදාළ සැකකරුට විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට සඳහන් කරමින් සැකකාරිය විසින් ආගමන විගමන පාලකවරයාට අත්තනෝමතික ලෙස දැනුම්දී ඇති බවය.

ඒ අනුව අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් පසුව සිදුකළ විමර්ශනයේදී සැකකාරිය අත්අඩංගුවට ගත් බව අධිකරණය හමුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

එමෙන්ම අස්ථානගත වූ නඩු පොත තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

එම අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාරියට වසර 25ක සේවා කාලය තුළ කිසිඳු චෝදනාවක් එල්ලවී නොමැති බවය.

අනතුරව කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, අතුරුදන් නඩු ගොනුව සැකකාරිය සතුව නොමැති නම් ඇයට විදෙස්ගමන් තහනම ඉවත්කිරීමට අදාළ කරුණු ලබාගැනීමට හැකියාවක් නොමැති බවය.

එමෙන්ම සැකකාර රෙජිස්ට්‍රාර්වරිය විසින් සැකකරු සමග අවස්ථා ගණනාවකදීම දුරකතන මාර්ගයෙන් සම්බන්ධවී ඇති බවත් දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී ඇය විසින් ඔහුට විනාඩි 20ක පමණ දුරකතන ඇමතුමක් එක් අවස්ථාවකදී ලබාගෙන ඇති බවට අනාවරණය වූ බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

වැඩිදුරටත් විමර්ශන නිලධාරීන් පැවසුවේ, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *