අගෝස්තු මාසයේ සිට දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්

නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අගෝස්තු 01 වැනිදා සිට දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පසුගියදා බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියදුරන් 41 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 19 දෙනෙකු බස් රථ රියදුරන් වේ.

ශ්‍රී ලංකාවේ සිදුවන රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම නිසා සිදුවන බවට අනාවරණය වී ඇති බවට පොලිසිය සැක කරන අතර, රට තුළ වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාවේ ද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව සඳහන් කළේය.

2020 වසරේ වාර්තා වූ අනතුරු 23,704 කින් පුද්ගලයන් 2,370 ක් මිය ගොස් ඇත. කෙසේ වෙතත්, 2021 දී රිය අනතුරු 22,847 කින් පුද්ගලයන් 2,559 ක් මිය ගොස් ඇත.

මේ වසරේ (2023) ජනවාරි 1 වැනිදා සිට ජුනි 18 වැනිදා දක්වා වාර්තා වූ රිය අනතුරු 8.875 කින් පුද්ගලයන් 1,043 ක් මිය ගොස් ඇත.

බීමතින් රිය පැදවීම හඳුනාගැනීමේ ක්‍රියාමාර්ග තිබුණද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූවන් හඳුනාගැනීමේ ක්‍රමවේද ඔවුන් සතුව නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග පවතින බැවින් නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීමට රජය විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් ජුනි 12 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වූ අතර එහිදී පුද්ගලයින් 1781 දෙනෙකු පරීක්ෂා කර රියදුරන් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රියදුරන් අතර ත්‍රිරෝද රථ රියදුරන් 09 දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 13 දෙනෙකු වේ. වරද පිළිගත් රියදුරන් හත් දෙනෙකු නිදහස් කර ඇති අතර රියදුරන් 15 දෙනෙකුට දඩ නියම කර රියදුරු බලපත්‍ර අත්හිටුවා තිබෙනවා.

අත්අඩංගුවට ගත් තවත් රියදුරන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *