අක්කර 100,000 ක අස්වැන්නක් නැති වුණත් මේ කන්නයේ සහල් හිඟයක් නැහැ – ඇමති

යල කන්නයේ හෙක්ටයාර් 503,000ක් වගා කර ඇති බවත් අක්කර ලක්ෂයක වගා හානියක් වාර්තා වුවද සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙවර යල කන්නයේ වී හෙක්ටයාර් 503,000ක් වගා කර ඇත.

යල කන්නයේ ඉතා ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළද රටට බලපා ඇති නියඟය හේතුවෙන් අක්කර පනස් දහසකට පමණ වගා හානි සිදුව ඇතැයි උපකල්පනය කළ හැකිය. එහෙත් අස්වනු නෙළන ලද බොහෝ කෙත්වල ඉහළ අස්වැන්නක් ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කරන ලද අධ්‍යයනවලින් තහවුරු වී ඇත.

අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද ජාතික ක්ෂේත්‍ර දිනය ඊයේ වී පර්යේෂණ ආයතනයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගි විය. අම්බලන්තොට සහල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ ක්ෂේත්‍රවල යල කන්නයේ අස්වනු නෙලීම ද ඊයේ ආරම්භ විය.

සහල් හිඟයක් ඇති වෙතැයි බිය විය යුතු නැති බවත් දැනට රට තුළ ඇති වී සහ සහල් තොග ඉදිරි මහ කන්නයේ අස්වනු නෙළන තෙක් ප්‍රමාණවත් බවත් අමාත්‍යවරයා පැවසීය. නමුත් රජයට සහල් හෝ වී ගබඩාවක් නැහැ. දැනට වී තොග සියල්ල පෞද්ගලික අංශයේ පවතී. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කළත් ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමෙන් වැළකී සිටිනවා.

ඒ නිසා නුදුරු අනාගතයේ දී සහල් හිඟයක් ඇති නොවුණත් වෙළෙඳපොළේ සහල් මිල යම් ප් රමාණයකට ඉහළ යනු ඇත. පෞද්ගලික අංශයට වී තිබෙන නිසා සහල් මිල ඉහළ ගියහොත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට රජයට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

උඩවලව කලාපයේ හානියට පත් සියලුම කුඹුරු මේ වසරේ වැඩිම අස්වැන්නක් ලබා දෙන කුඹුරු බවද ඇමැතිවරයා සඳහන් කළේය. මෙම ක්ෂේත්‍ර දින වැඩසටහනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *