සිරියා හිටපු ජනපති බෂාර් අල්-අසාද්ට මරණ දඬුවම

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්, ඔහුගේ සහෝදර මහර් අල්-අසාද් සහ ඥාති සොහොයුරෙකු වන ආටෙෆ් නජීබ් එරට වසර 14කට ආසන්න යුද සමයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් කර මරණ දඬුවමට යටත් කර තිබේ.

අඟහරුවාදා දමස්කස්හි අපරාධ අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව, 2024 වසරේ බලයෙන් පහකළ බෂාර් අල්-අසාද්ට පූර්ව සැලසුම් සහගත මිනීමැරුම්, වධහිංසා සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට තීන්දු කර ඇත.

මේ වනවිට රුසියාවේ පිටුවහල් ජීවිතයක් ගත කරන අල්-අසාද්ට ඔහු නොමැතිව පැවැත්වූ නඩු විභාගයකදී මරණ දඬුවම නියම කර තිබේ.

ඔහුගේ බාල සහෝදරයා වන මහර් අල්-අසාද්ටද පූර්ව සැලසුම් සහගත මිනීමැරුම් සහ වධහිංසා සම්බන්ධයෙන් වරදකරු කර, ඔහු නොමැතිව මරණ දඬුවම නියම කර ඇත. මහර්ද මේ වනවිට රුසියාවේ සිටින බව සඳහන් වේ.

2011 වසරේ සිරියාවේ නැගිටීම ආරම්භ වූ දකුණුදිග ඩෙරා පළාතේ දේශපාලන ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානියා වූ ආටෙෆ් නජීබ්ටද “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී සිරියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් නජීබ්, විරෝධතාකරුවන්ට එරෙහිව 2011 වසරේ ඩෙරාහිදී සිදුකළ මාරාන්තික මර්දනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේය. එම මර්දනය පසුව පුළුල් කැරැල්ලකටත්, අවසානයේ සිවිල් යුද්ධයකටත් මඟ පෑදූ සිදුවීම් මාලාවක ආරම්භයක් විය.

අධිකරණ තීන්දුව කියවන අවස්ථාවේ නජීබ් සිරකරුවෙකුගේ ඇඳුමින් සැරසී විත්ති කූඩුව තුළ සිටි බව වාර්තා වේ.

අධිකරණය සඳහන් කර ඇත්තේ ඔහුට එරෙහි චෝදනා අතර මිනීමැරුම්, වයස අවුරුදු 15ට අඩු දරුවන් චේතනාන්විතව ඝාතනය කිරීම සහ මරණයට හේතු වූ වධහිංසාද ඇතුළත් බවයි.

අල්-අසාද්ට එරෙහි තීන්දුව සිරියානුවන්ට සහනයක්

හිටපු අල්-අසාද් පාලනයේ පුද්ගලයන්ට එරෙහිව සංක්‍රාන්තික බලධාරීන් විසින් නඩු විභාග කිරීම ආරම්භ කිරීමෙන් පසු, අල්-අසාද් සහ ඔහුගේ සමීපතම ඥාතීන්ට එරෙහිව ලබාදුන් මෙම තීන්දුව එවැනි නඩුවක පළමු තීන්දුව ලෙස සැලකේ.

අධිකරණය අමතමින් විනිසුරු අල්-අරියාන් සඳහන් කර ඇත්තේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මගින් හිටපු සිරියානු නායකයා මෙම අපරාධවල “ඉහළම තීරණ ගන්නා පුද්ගලයා” ලෙස කටයුතු කළ බව තහවුරු වී ඇති බවයි.

අල්-අසාද් මෙම අපරාධ සිදුකිරීමට පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය ආයතනද භාවිත කර ඇති බව විනිසුරුවරයා සඳහන් කර තිබේ.

දමස්කස්හි සිට වාර්තා කරන මාධ්‍ය වාර්තා අනුව, මෙම තීන්දුව සිරියානු ජනතාවට සැලකිය යුතු සහනයක් ලබාදෙනු ඇති අතර, ඔවුන්ගේ දිගුකාලීන වේදනාවෙන් මිදීමේ ක්‍රියාවලියේ වැදගත් පියවරක් වනු ඇතැයිද අදහස් පළ වී තිබේ.

අල්-අසාද් පාලනය යටතේ වධහිංසාවට ලක්වූ, නිවාස අහිමි වූ සහ සිය ප්‍රජාවන් විනාශයට පත් වූ ජනතාව දිගු කලක් තිස්සේ වගකිවයුත්තන්ට එරෙහිව යුක්තිය ඉල්ලා සිටි බවද වාර්තා වේ.

මෙම තීන්දුව අල්-අසාද් පාලන සමයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අනෙකුත් පුද්ගලයන්ට එරෙහි නඩු සඳහාද වැදගත් නීතිමය පූර්වාදර්ශයක් සපයනු ඇතැයි විශ්වාස කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *