රාජ්‍ය ආයතන තුළ සිදුකරන ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සම්බන්ධීකරණය සහ කළමනාකරණය කිරීම සඳහා විශේෂිත ඩිජිටල් පරිවර්තන ඒකක ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2025 ඔක්තෝබර් 21 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමත කරන ලද 2025 සිට 2030 දක්වා ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්ම මගින් රාජ්‍ය ආයතන තුළ අංශ මට්ටමේ ඩිජිටල් පරිවර්තනය අධීක්ෂණය කිරීම සඳහා ශක්තිමත් හා ප්‍රමිතිගත ආයතනික යාන්ත්‍රණයක අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
එමෙන්ම ජාතික ඩිජිටල් කොමන්ස් වැඩසටහනට අනුකූලතාව තහවුරු කිරීම සඳහාද එවැනි යාන්ත්‍රණයක් අවශ්‍ය බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, ඩිජිටල් පරිවර්තන කටයුතු ඵලදායී ලෙස කළමනාකරණය සහ සම්බන්ධීකරණය කිරීම සඳහා සෑම රාජ්‍ය ආයතනයක් තුළම ඩිජිටල් පරිවර්තන ඒකකයක් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබේ.
මෙම ඒකක ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහය සහ වැඩපිළිවෙළ ඇතුළත් ඩිජිටල් පරිවර්තන ඒකක සඳහා යොමු රාමුවක් GovTech Sri Lanka (Pvt) Ltd. විසින් සකස් කර තිබේ.
එම රාමුවට අනුව සෑම ඩිජිටල් පරිවර්තන ඒකකයකම ප්‍රධානියා ලෙස ප්‍රධාන ඩිජිටල් නිලධාරියෙකු (CDO) පත් කිරීමට නියමිත අතර, ඔහු හෝ ඇය අදාළ රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා වෙත සෘජුවම වාර්තා කළ යුතු වේ.
එම ඒකක හරහා රාජ්‍ය ආයතනවලට ඩිජිටල් පරිවර්තනයට අදාළ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ දැනුම සහ උපදේශන සහාය GovTech Sri Lanka වෙතින් ලබාගැනීමටද අවස්ථාව සැලසෙනු ඇත.
ව්‍යවසාය ගෘහ නිර්මාණ ශිල්පය (Enterprise Architecture), දත්ත සහ කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව, පද්ධති අන්තර් ක්‍රියාකාරීත්වය (Interoperability) ඇතුළු ඩිජිටල් පරිවර්තනයට අදාළ ක්ෂේත්‍ර රැසක් එම සහායට ඇතුළත් වේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් පරිවර්තන ඒකක ස්ථාපිත කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබාදී තිබේ.


