හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් සිට යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සැප්තැම්බර් 16 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.
ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, රටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව පවසමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පූර්ව ඇප අයදුම්පතක් ගොනු කළ දිනයේමය.
මෙම පූර්ව ඇප අයදුම්පත ගොනු කර ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සිරිලිය සවිය සංවිධානය සම්බන්ධ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයක් අතරතුරය. එම විමර්ශනයට අදාළව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ.
ඇයගේ පූර්ව ඇප අයදුම්පතේදී, ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපළේදී තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් පවතින බව සඳහන් කරමින්, අධිකරණය නියම කරන ඕනෑම කොන්දේසියකට යටත්ව ඇප ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.


