ශ්රී ලංකාවේ ප්රවාහන අමාත්ය බිමල් රත්නායක මහතා සහ ශ්රී ලංකාවේ උපන් නෝර්වේ ප්රවාහන අමාත්යවරිය වන කම්සි ගුණරත්නම් මහත්මිය අතර මාර්ග ආරක්ෂාව, තිරසාර ප්රවාහනය සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
රත්නායක මහතා සහ ඔහු සමඟ පැමිණි දූත පිරිස නෝර්වේ ප්රවාහන අමාත්යාංශයේදී පිළිගැනීමට ලැබීම පිළිබඳව සතුටු වන බව ගුණරත්නම් මහත්මිය සමාජ මාධ්ය සටහනක් තබමින් සඳහන් කර ඇත.
පරිසර හිතකාමී ප්රවාහන ක්රම වෙත මාරුවීම, ප්රවාහන ක්ෂේත්රයේ සේවකයන් සූරාකෑම සහ අසාධාරණ සේවා කොන්දේසි ඇතිවීම වැළැක්වීම මෙන්ම මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමද සාකච්ඡාවට ලක්වූ ප්රධාන කරුණු අතර විය.
පසුගිය වසරේ ශ්රී ලංකාවේ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 2,700කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවත්, ඒ අතර තරුණයන් රැසක් සිටි බවත් බිමල් රත්නායක මහතා තමන්ට දැනුම් දුන් බව ගුණරත්නම් මහත්මිය සඳහන් කර තිබේ.
මෙම සංඛ්යාලේඛන හද කම්පා කරවන සුළු බව පෙන්වා දුන් ඇය, මාර්ග ආරක්ෂාව යනු ප්රවාහනයට පමණක් සීමා වූ කරුණක් නොවන බව අවධාරණය කළාය. එය මිනිස් ජීවිත, පවුල් සහ අනාගතය සමඟ සම්බන්ධ වූ ගැටලුවක් බවද ඇය සඳහන් කළාය.
සමාජ අන්තර්කරණය සහ විවිධ ජනවාර්ගික, සමාජීය හා භූගෝලීය පසුබිම්වලට අයත් පුද්ගලයන් නියෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳවද අමාත්යවරු දෙදෙනා සාකච්ඡා කර තිබේ.
යාපනයේ උපත ලැබූ ගුණරත්නම් මහත්මිය, ශ්රී ලංකාවේ සිවිල් යුද්ධයේ බලපෑම් තවදුරටත් පවතින බව පෙන්වා දෙමින් ජාතික සංහිඳියාව සඳහා ගන්නා උත්සාහයන්ට සිය සහාය පළ කළාය.
දේශගුණික විපර්යාස සහ ප්රවාහන අභියෝගවලට විසඳුම් ලබාදෙන අතරම සමාජ බෙදීම් අවම කිරීමටද දායක වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකා දූත පිරිසට සාර්ථකත්වය ප්රාර්ථනා කරන බව ඇය සඳහන් කළාය.
“හොඳ ප්රවාහන ප්රතිපත්තියක අරමුණත් එයයි. මිනිසුන් එකිනෙකා සමඟ සම්බන්ධ කිරීම,” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්රකාශ කළාය.
නෝර්වේ කම්කරු පක්ෂයේ සාමාජිකාවක වන ගුණරත්නම් මහත්මිය මීට පෙර ඔස්ලෝ නගරයේ නියෝජ්ය නගරාධිපතිනිය ලෙසද කටයුතු කර තිබේ. ඇය 2026 සැප්තැම්බර් මාසයේදී නෝර්වේ ප්රවාහන අමාත්යවරිය ලෙස පත්කරනු ලැබුවාය.


