ශ්රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳ, සංචාරක, සමුද්රීය ආරක්ෂාව සහ අධ්යාපන යන ක්ෂේත්රවල පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට ඇමෙරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer) මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
අග්රාමාත්ය මාධ්ය අංශය නිවේදනය කළ අන්දමට, අග්රාමාත්යවරිය සහ ඇමෙරිකානු තානාපතිවරයා ප්රමුඛ රාජ්යතාන්ත්රික දූත පිරිස අතර මෙම සුහද හමුව පසුගිය අඟහරුවාදා (27) කොළඹ අරලියගහ මන්දිරයේදී සිදුවිය.
මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කිරීම, සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව ඉහළ නැංවීම මෙන්ම අමෙරිකානු සංචාරකයින්ගේ ප්රමුඛ ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව ප්රවර්ධනය කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේම විශේෂ අවධානය යොමුවිය. මීට අමතරව, කලාපීය වශයෙන් පවතින පොදු සාගර අභියෝග ජයගැනීමේ ඒකාබද්ධ ප්රයත්නයන් ඇතුළු සමුද්රීය ආරක්ෂණ සහයෝගීතාව වර්ධනය කරගැනීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා කෙරිණි.
අධ්යාපන ක්ෂේත්රයේ ප්රගතිය සහ ශිෂ්යත්ව
දෙරට අතර අධ්යාපනික සහ ශාස්ත්රීය සබඳතා ශක්තිමත් කිරීම උදෙසා ‘ෆුල්බ්රයිට් ශිෂ්යත්ව වැඩසටහන’ (Fulbright Scholarship Programme) මඟින් දිගුකාලීනව ලබාදුන් දායකත්වය අගය කළ අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙණෙවිය, එම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.
මේ අතර, ශ්රී ලංකාවේ ඉංග්රීසි භාෂා අධ්යාපනය නඟාසිටුවීම සඳහා එක්සත් ජනපද සාම බලකාය (US Peace Corps) විසින් ක්රියාත්මක කරනු ලබන ඉංග්රීසි භාෂා පුහුණු වැඩසටහන සහ ඒ හරහා ලබාදිය හැකි දායකත්වය පිළිබඳව තානාපති එරික් මේයර් මහතා මෙහිදී අග්රාමාත්යවරිය දැනුවත් කළේය.
අන්යෝන්ය වශයෙන් වැදගත් වන ක්ෂේත්රයන් ඔස්සේ අඛණ්ඩ සංවාද සහ සහයෝගීතාව පවත්වා ගනිමින් ශ්රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී සිය කැපවීම යළිත් තහවුරු කළහ.
මෙම අවස්ථාවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්ය දූත මණ්ඩල ප්රධානී ඩේවිඩ් මයර්ස්, අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි, අග්රාමාත්ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් මෙන්ම විදේශ කටයුතු අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.


