විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි කැඳවීමට දින දෙයි

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී  උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු  එම පක්ෂයේ  සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19  දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා  දින නියම  කළේය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී  සැකකරුවන් ලෙස නම්කර සිටින විමල් වීරවංශ,ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක,පියසිරි විජේනායක,රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසාමිල් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව සාක්ෂි විමසීම සිදු කළ අතර පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ  ඡායාරූප අංශ ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදීම සිදු කළේය.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.

මංමාවත් පනත යටතේ හා පොලිස්  ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව  මෙම නඩුව ගොනු කර ඇත.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් සේනානායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

වැඩිදුර විභාගය නොවැම්බර් 10 දිනට නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *