රටවල් පහක් ඉලක්ක කර ගනිමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්

ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා ප්‍රධාන රටවල් පහක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඉන්දියාව සහ රුසියාව යන රටවල මෙම ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතයි. කසකස්තානය, යුක්රේනය සහ මැදපෙරදිග යන රටවලට අමතරව ප්‍රවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ද අමාත්‍යවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධානීන් සමඟ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට අමතරව මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ඒ අනුව ඉදිරි මාසවලදී එම රටවල සංචාරකයින් ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන සහ දිගු කාලීන ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට නියමිතයි. මේ යටතේ සංචාරක නියෝජිත හමුව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිත කරමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

අදාළ රටවල ශ්‍රී ලංකා සංචාරක ආයතන සහ සංචාරක ආයතන සමඟ මුහුණට මුහුණ සාකච්ඡා සංවිධානය කර සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත් කිරීම සාර්ථකව සිදු කළ රටක් ලෙස මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදීමට ද තීරණය විය.

ඉදිරි මාස දෙක තුළ සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරියේ ඉලක්කය විය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය. ඒ මත පදනම්ව ආයතනයේ සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා නිර්මාණාත්මක අදහස් තුළින් නැවුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනවාරි සිට ඔක්තෝබර් 24 දක්වා සංචාරකයින් 54,768ක් මෙරටට පැමිණ ඇත. සැප්තැම්බර් මාසයේ දී සංචාරකයින් 13,547 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවත්, ඔක්තෝබර් 01 වැනිදා සිට මේ දක්වා සංචාරකයින් 16,451 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එම සාකච්ඡාවේදී අනාවරණය විය. සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය, පකිස්ථානය, රුසියානු සමූහාණ්ඩුව, ජර්මනිය, මාලදිවයින, කැනඩාව, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාව යන රටවලින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *